Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

July 2012

තණමල්විල හිච්චි එකාගෙන් සිරියාවේ අසාද් අන්කල්ට ලියුමක්


ආදරණීය අසාද් අන්කල් ,

පවුලේ මල ගෙයකුත් වෙලා තියෙත්දී අන්කල් හොඳින් ඉන්නට විදිහක් නැති නිසා ඒ ගැන අහන්නේ නැය , හැබැයි මම නම් ඉතා හොඳින්ය . මම කලින් ගඩාෆි අන්කල් ට ලියුමක් ලියන කොට පරක්කු වුනා වැඩිය , දෙවෙනි එක යවන්න උනේ අපායටය . ඒ නිසා අන්කල් වැඩේ අල කරගන්නට කලින්ම ලිව්වොත් හොඳයි කියා හිතුනාය . ගඩාෆි අන්කල් ට අපි ආදරේ අපේ ආඩම්භර කාර තාත්තා අන්කල්ගේ  බොක්ක ෆිට් එකක් වුනු නිසාය , අන්කල් එහෙම ෆිට් එකක් නොවුනත්  අන්කලුත් අධිරාජ්‍ය විරෝධී කඳවුරේ නිසා අපේ  මිතුරෙක් කියා සලකන්න පුලුවන් කියා අපේ අම්මා කියනවාය .


අපේ අම්මා  ඇමරිකාවේ නම ඇහුනත් තදවෙන තරම් දේශප්‍රේමීය , එයා දේශප්‍රේමයෙන් දෙවෙනි වන්නෙ අපේ උපවාස වංශ අන්කල්ට විතරය . උපවාස වංශ අන්කල් ඇමරිකන් බඩු වර්ජනය කරන්නට කිව්ව දවසේ ගේ පෙරල පෙරලා ඇමරිකන් බඩු ගිනි තියන්න හෙව්වාය . හොඳ වෙලාවට අපේ ගෙදර තියෙන්නේ ඔක්කොම චීන - ඉන්දියන් බඩුය . අම්මා ගුගල් ගැන දන්නේ නැය . කේඑෆ්සී කන්නට තාත්තාගේ පඩියෙන් කොහොමත්  බැය , අන්තිමේදි අම්මා හිස් මෙගා බෝතල් ටිකක්  ගිනි තියා බතුත් නොකා නිදාගත්තාය . අම්මා හිතුවේ ගිනි තිබ්බේ කොකාකෝලා බොතල් කියාය , හැබැයි ඒ තාත්තා ගේ අලියා බීම සෝඩ බෝතල්ය . ආඩම්භර කාර   බාප්පාගේ දුව ඇමරිකන් කාරයෙක් බැන්ද එක ගැන අම්මාට මාර අප්සෙට්ය , ඔය ගැන කෝචොක් කොරන්න ගිය තාත්තා තව පොඩ්ඩෙන් මෝල් ගස් පාරකුත් කනවාය . 




තාත්තා නම් ඇමරිකන් හිතවාදීය . අන්කල්ගේ මස්සිනා පොඩ්ඩ වලකජු  ගැහුව නිවුස් එකට තාත්තා ගිය ආතල් එක  දෙදහස් මුල ගණන්වල රනිල් අන්කල් අගමැති වූදා ගිය ආතල් එකටත් වඩා ලොකුය කියා අම්මා කිවාය .  රුසියාවේ පුටින් අන්කල් ඉන්න කන් අන්කල්ට මොකුත් වෙන්නේ නෑ කියා අම්මා කිවාට තාත්ත නම් කියන්නේ නේටෝවෙන් බැරි උනාට ඔබාමා අන්කල් යටින් ගාණට වැඩෙ පත්තු කරලා කියාය. අධිරාජ්‍ය ගැත්තන්ගේ ප්‍රකාශ වලට සැලෙන්න හොඳ නැ වුනත් දැන් දැන් හිතෙන්නේ තාත්තා හරි කියාය . 


අපේ බටහිර විරෝධී අය්යාත් මේ දවස් වල ගෙදරය , මේ දවස් වල විතරක් නෙවෙ ඌ දැන් මාස ගාණක ඉඳන් ගෙදරය . දවසේම කකා බිබි නිදියන පොර දැන් විරුද්ධ එස්.බී අන්කල්ට විතරය ඒ නිසා අන්කල්ට සප් එකට අපේ ගෙදරින් ඉන්නේ මාත් අම්මාත් විතරය

අම්මා මොනවා කීවත් මට දැන් නම් හිතෙන්නේ ඕනිවට වඩා දේශප්‍රේමි වෙන්න ගියොත් කෙලවෙනවා කියාය . පුටින් අන්කලුයි ජින්තාවො අන්කලුයි බේරා ගනියි කියලා බලාහිටියාට වැඩක් වෙන්නේ නැ වගේය . ඔබාමා අන්කල් ලා හින් නුලෙන් වැඩේ දෙන්නට දන්නවාය . අපේ  ආඩම්භර කාර  පියා අන්කල් නම් වැඩේ තේරුම් අරන් පාටක් ලාවට පේන්න  තියනවාය ඒ ජිනිවා වලදී මන මෝහන සීයා කොකා පෙන්නුවායින් පසුවය . මං අන්කල්ටත් කියන්නේ පොඩ්ඩක් ශේප් වෙන්න බලන්න කියාය , අන්කල්ට  තාමත් ඔනිවටත් වඩා චැන්ස් තියනවාය .

 _ක-ගෙදර අය්යා ටීම් එකට එන්නත් කලින් මැච් එක පරදින එක ගැන දුකෙන් ඉන්න අපිට තවත් අධිරාජ්‍ය විරෝධියෙකුට කෙලවෙනවා බලන් ඉන්නට බැරිය , අන්කල්ට "රාමදාන් කරීම් "ය , නාථ දෙවි පිහිටය !

                           - මීට තණමල්විල හිච්චි එකා

බඩු මිල , පවුල් දේශපාලනය සහ මුස්ලිම් කොංග්‍රසය නොහොත් පලාත් සභා ඡන්දය 2012 v1.0


පලාත් සභා මැතිවරණයේ නාම යෝජනා බාර දීම හෝ තවමත් සිදුවී නැතත්   රට කරවන ඇත්තන් සහ රට කරන්න බලන් ඉන්න ඇත්තන් දෙපිරිසම දැනටමත් තරඟයට අවතීරණ වී ඇති බවක් පෙනෙන්නට ඇත . මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශයන්හි තාප්ප සිනා මුහුණු වලින් පිරි යත්දී රුපවාහිනි නාලිකා වල පුවත් විකාශයන් අතර තුර  'රස කථා ' විකාශනය වීමද ඉහල ගොස් ඇත


බඩු මිල පහලට 

මා දන්නා කාලයේ පටන් ශ්‍රි ලංකාවේ ඡන්දයක් ප්‍රකාශයට පත්කල සැම විටකම පාහේ බලයේ සිටින්නන් පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කිරිම දක්නට ලැබුනි .  බොහෝ දෙනා සුලභව හඳුන්වන පරිදි "ඡන්ද ගුණ්ඩු"වක් වන මෙය තවමත් සාර්ථක පිලියමක් යැයි සිතාදෝ රජය ඊයේ භාණ්ඩ කිහිපයකම මිල ගණන් අඩු කර ඇත . මීට මාස කිහිපයකට කලින් දේශීය ගොවියා නගා සිටුවීම , රටේ සංවර්ධනයට මුදල් සොයා ගැනීම ඇතුලු නා නා විධ හේතුන් සපයමින් සීටි රජය දඩස් ගා  බදු අඩු කර බඩු මිල පහත හෙලන්න මන්දැයි නිකමට හෝ විමසන්නට මාධ්‍ය කරුවන් (කියා ගන්නා ) උන්ට සිතෙන්නේ නැත ,  පැවැති මිල ගණන් යටතේ 2500ට ජීවත් වීමට හැකි යැයි කියු ඇමතීන් දැන් 2000කින් හෝ 1750 කින් පමණ ජීවත් වීමට හැකි යැයි නොකීවොත් ඒ ජනපතිවරයාගෙන් කුණුහරුපයක් අසා ගැනීමට ඇති බිය  නිසාය , නමුත් 2500ට මදක් වැඩියෙන් එක් පුද්ගලයෙකුට ජීවත් විය හැකි බව සාධනය කර පෙන්වූ බ්ලොග් කරුවන්ට නම් දැන් නම් 2500 උනත් ජීවත් විය හැකි බැව් සාධනය කර පෙන්වීමේ බාධාවක් නොමැත . ව්‍යාජ දේශප්‍රේමයට රැවටෙමින් සිටින ජනයා මෙවන් ඡන්ද ගුණ්ඩු වලට රැවටීමේ අරුමයක්ද නැත


දේශපාලන පවුල් 

එකම පවුලක සමාජිකයින් දේශපාලනයේ බහුලව දක්නට ලැබීම පිලිබඳ උදාහරණ  ඕනැ තරම් දක්නට ඇත . සුපිරි ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජනපදයේ පිය -පුතු ජනපතිවරුන් ද , ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි  රාජ්‍යයේ නිදහසින් පසු වැඩිම කාලයක් පාලනය දැරු නේරු-ගාන්ධි පවුලද ඒ සඳහා ලෝක මට්ටමේ උදාහරණය . ශ්‍රි ලංකාවේ බණ්ඩාරනායක පවුල සේනානයක පවුල මෙන් ම වර්ථමානයේ රාජපක්ෂ පවුලත් , රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා වැන්නවුනුත්   පවුල් දේශපානයට මෙරට ඇති ස්ථානය පිලිබඳ කියා පාන්නක් ලෙස සැලකිය හැක . එකම පවුලේ සමාජිකයින් දේශපාලනයට පැමිණීම සුලභ කාරණයක් වනවාක් මෙන්ම , දේශපාලන පවුලක වූ පමණින් කෙනෙක් දේශපාලනය කිරීමට නුසුදුස්සෙක් වන්නේද නැත. නමුත් දේශපාලනිකව නුසුදුස්සන් පවුල් බලය නිසා ඉහලට පැමිනෙන්නේ නම් එය ගැටලු කාරී තත්වයක් මතු කරන්නක් වන අතර , ශ්‍රි ලංකාව ඉන්දියාව වැනි රටවල පවුල් දේශපාලනය පිලිබඳ ජනතාව තුල අප්‍රසාදයක් ගොඩ නැගීමට හේතුව වී ඇත්තේද එයමය . ශ්‍රි ලංකාවේ දෙවන  පෙල දේශපාලනය තුල ජාතික මට්ටමේ දේශපාලකයින්ගේ සමීප ඥාතින් පසුගිය කාලය පුරාවටම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුලින්ම දක්නට ලැබිනි. මෙවරද එය එසේ නොවේ යැයි සමාන්‍ය ජනයා තුල අපේක්ෂාවක් නැතත් නිදහස් පක්ෂයේ මහලේකම් වරයා විසින් එසේ ඥාති  වරුනට නාම යෝජනා නොදෙන බවක් ප්‍රකාශ කිරීමත් සමඟ ජනතාවගේ මෙන්ම විපක්ෂ දේශපාලකයින්ගේද අවධානය ඒ දෙස යොමු වී ඇත . හිටපු මහ ඇමති වරුන් දෙදෙනාගේ ඥාතින්ද පාර්ල්මෙන්තුව නියෝජනය කරන අතර , සන්ධානයේ ප්‍රභල ඇමති වරුන්ගේ ඥාතින් කිහිප දෙනෙක්ද මැතිවරණයට ඉදිරිපත් වන බවට දැනටමත් පෝස්ටර් ගසා ඇත . එනම් ඩෙංගු වලින් හත්පොලේ ගාගෙන සිටින සිරිසේන මහතා තවත් වරක් බාගෙනම නාගැනීමට ආසන්න බැව් පෙනෙන්නට ඇත .


මුස්ලිම් කොංග්‍රසය 

ශ්‍රි ලංකාවේ දේශපාලනය් හසුරවනා එක් ආගම්වාදි සහ ජාතිවාදි දේශපාලන  බලවේගයක් ලෙසින් මුස්ලිම් කොංග්‍රසය හඳුනාගත හැක . නැගෙනහිර පලාතේ මුස්ලිම් ජනගහණය අනුව  මුස්ලිම් ක්ංග්‍රසයට හිමිව ඇති බලය හරහා ප්‍රධාන දේශපාලනික ධාරාවන්ට කොන්දේසි ඉදිරිපත් කිරීම හා ඔවුන් ඒවාට යට වීම සැබවින්ම කණගාටු දායකය . මෙවරද මුස්ලිම් කොංග්‍රසය කොන්දේසි මාලාවක් ඉදිරිපත් කල අතර , සන්ධානය සිය සුපුරුදු අහංකාර කම් ඉවතලා ඔවුන් සමඟ සාකච්ඡාවන්ට එකතු වන බවද දක්නට ලැබුනි . ඊයේ පලවූ ඇතැම් මාධ්‍ය වාර්ථා අනුව මුස්ලිම් කොංග්‍රසය රජය සමඟින් තරඟ කරන්නට තීරණය කර ඇති අතර රජය ඔවුනගේ ඇතැම් කොන්දේසි සඳහා එකඟ වී ඇත , පුවතේ සත්‍යතාවය පිලිබඳ සහතික විය නොහැකි මුත් පසු ගිය කාලය පුරාවට දක්නට ලැබුනු තත්වයන් අනුව එය නොවිය හැක්කක් යැයි ප්‍රතික්ශේප  කීරීමේ හැකියාවක්ද නොමැත . මෙවර මුස්ලිම් කොංග්‍රසය පිටුපස නොයා පැත්තකට වී සිටින එජාපයද එසේ කරන්නේ කිහිප වතාවක්ම _ක බිම ඇනගැනීමෙන් පසුවය . දේශපාලනික හෙට්ටු කිරීම් හරහා තම අන්තවාදි දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගැනීමට තැත්කරනා දේශපාලනික බලවේගයන්ට ඉඩකඩ නොදී තනිව තරඟ කිරීමේ කොන්දක් ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකට තිබිය යුතුය . සිංහල දෙමල මුස්ලිම් ජාතින් සියල්ල විසිරි පවතිනා නැගෙනහිර පලාතේ බලය පිල්ලෙයාන් කල්ලියට හෝ මුස්ලිම් කොංග්‍රසයට නතු වන්නට දීම අනාගතයේදී බරපතල ගැටලු මතු කිරීමට හේතු විය හැක්කක් බැව්ද සඳහන් කල යුතුය



ඕං අවුරුදු දෙකයි !


බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා .

2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .

 2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රියතම ලිපි සියල්ල ලියවුනෙත් , එක මාසයක් තුල වැඩිම පිසිවුම් සංඛ්‍යාවක් සටහන් වුනෙත් 2011දී . එ වගේම 2011 වසරේ මැද භාගයේ ඉඳන් ලියවුනු බොහෝ ලිපි වලට 500-1000 අතර පිවිසුම් ප්‍රමාණයකුත් ලැබුනා . මේ වෙන කොට  ලිපි පල කිරීමේ සංඛ්‍යාතය අඩු නිසා හෝ ලියන දේවල  ගුණාත්මභාවයක් නැති නිසා හෝ එක ලිපියකට පිවිසෙන්නන් ගණන 300-500 අතර ප්‍රමාණයකයි රැඳිලා තියෙන්නෙ

බුවාගේ සිතුවිලි බ්ලොග් අඩවියෙන් පටන් ගත්ත බ්ලොග් කරණයෙන්  ඊලඟට තියපු පියවර තමයි බ්ලොග් ප්‍රමෝ . ආරම්භයේදී බ්ලොග් කරුවන්ගෙන් හොඳ සහයක් ලැබුනත් පසුකාලීනව අසාර්ථක වුනු ව්‍යාපෘතියක් විදිහට මේක හඳුන්වාගන්න පුලුවන් . යොදන කාලයේ තරමට ආධුනික බ්ලොග් කරුවන්ට ප්‍රයෝජනයක් අත් නොවෙන බවක් පේන්න තිබුන නිසා බ්ලොග් හඳුන්වාදීමට වෙනම ලිපි පල කිරීම නොකලත්  තවමත් ඕනිම බ්ලොග් අඩවියක් එකතු කරගන්නවා පොඩි උදව්වක් ඒකෙන් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්



ඊලඟට පටන් ගත්ත බ්ලොග් අඩවිය වුනේ ආලකමන්දාව , හිතු තරම් කාලයක් ආලකමන්දාව වෙනුවෙන් වෙන් කරන්න නොලැබුනත් හිතුවාටත් වඩා සාර්ථක වුනු ව්‍යාපෘතියක් විදිහටයි මට දැනෙන්නෙ , මාර්තු අප්‍රේල් මැයි මාස තුනට එක මාසයට එක බැගින් ලිපි පල වෙලත් මාස 6ක් තුල ලැබිල තියන සම්ස්ථ පිවිසුම් සංඛ්‍යාව සතුටු දායකයි ( ඩයිනමික් වීව් තුල තියන පිවිසුම් සංඛ්‍යා  ගැටලු සැලකිල්ලට අරගෙනත් )

 ඒ නිසා බ්ලොග් කරණයේ දෙවර්ශ පූර්නයත් එක්ක අලුත් වැඩක් ආලකමන්දාව වෙනුවෙන් පටන් ගන්නයි යන්නේ , ඒ ආලකමන්දාවේ ඵ්ලවෙන ලිපි ගැන දැනුවත් කරන්න වගේම වෙනම ලිපියක් ලියන්න තරම් නොවෙන කෙටි තොරතුරු බේදා හදාගන්න අරමුණෙන් සැකසුනු ආලකමන්දාවේ  ඒක . තවම පාඨකයින් වෙනුවෙන් ව්වෘත කිරීමක් නොකලත් දවස් කිහිපයක ඉඳන් යවත්කල් කරල තියෙන්නේ ඔබට යම් අදහසක් ඒ ගැන ගන්න පුලුවන් වෙන්න . පහල සබැඳියෙන් ඒකට පිවිසිලා ඒකේ සමාජිකයෙකු වෙන්න කියලත් , ඔබේ මිතුරු මිතුරියන්ටත් ඒ සඳහා ආරාධනා කරන්න කියලත්  ඉල්ලීමක් කරන්න කැමතියි

https://www.facebook.com/Alakamandhawa




 ඒ වගේම මතක් කරන්න ඕනි ආලකමන්දාවට  ලිපි පල කරන්න ඕනිම කෙනෙකුට පුලුවන් ඒ සඳහා ස්ථීර සාමාජිකත්වය ගන්න හෝ  තමන්ගේ ලිපියක් ඊමෙල් මගින් එවන්න හෝ  alakamandhawa@gmail.com කිය ඊමෙල් ලිපිනය භාවිතා කරන්න පුලුවන් . සිංහල වගේම ඉංග්‍රිසි භාෂාවෙන් වුනත් ලිපි පල කිරීමේ හැකියාව තියනවා

නැවත වතාවක් බ්ලොග් කරණයේදී සහය දැක්වූ සියලු දෙනාටම ස්තුතිය පුද කරලා , දෙවර්ශ සැමරුම් ලිපිය නිමා කරනවා !

වෙබ් අඩවි වාරණය නොහොත් අතීසාරයට අමුඩ ගැසීම



පහත ඇත්තේ ජනමාධ්‍ය වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන දිවයින පුවත්පතේ ලිපියකි .


//මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (03 වැනිදා) "දිවයින" ට පැවසීය.


ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීවේය.


මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌ ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය./

මෙහි හැටියට නම් ඇමතිතුමාට(සහ රජයට )  නප්පියටම තදවී ඇති බවක් පෙනේ .ඇමතිතුමා  ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට චෝදනා එල්ල කලද පසුගියදා වැටලුවේ ලියාපදිංචි කල වෙබ් අඩවිය .අනෙක් අතට ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට බාධා කිරීම් සිදු කරේ දැන් සැහෙන කලකට පෙරය .ඒ නිසා ඇමතිතුමා අලුතෙන් වයින් වී තිබෙන්නේ කුමටදැයි අපට තේරෙන්නේ නැත .


මහ පාරේ සිදුවන රිය අනතුරකටත් රාජපක්ෂ රජයට චෝදනා කරන වෙබ් අඩවි වල සිට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඇඳන් යට රිංගන වෙබ් අඩවි දක්වා  මඩ- අපහාස - ඕපාදූප ගණයේ සැලකිය හැකි වෙබ් අඩවි රාශියක් (ශ්‍රි  ලංකාව ආශ්‍රිතව ) අන්තර්ජාලයේ දක්නට ඇත . අමුලික බොරුවල සිට සැඟවුනු සත්‍යන්(ඕපාදූප වූ පමණින් අසත්‍ය යැයි කිව නොහැක )  දක්වා පුලුල් පරාසයක තොරතුරු ඉදිරිපත් කරන මෙම වෙබ් අඩවි වලට සැලකිය යුතු පාඨකයින් පිරිසක්ද ඇත . පිලිගත් ජනමාධ්ය සියල්ල එක අන්තයක ගමන් කරත්දී විකල්ප තොරතුරු කෙරේ ජනතාවගේ යොමු වීමද , ලෝකේ කොතනකත් සිදුවන පරිද්දෙන් ප්‍රසිද්ද පුද්ගලයින්ගෙ කුණු සෙවීමට ජනතාව තුල ඇති කැමැත්තද මේ පාඨක පිරිසට හේතුවී ඇතැයි සැලකිය හැක .

අන්තර්ජාලයේ ස්වාභාවය තුලින්ම ලැබී ඇති නිදහස  භාවිතා කර ඕනැම දෙයක් , ඕනැම ආකාරයට පල කිරීම ශ්‍රි ලංකාව තුල පමණක් නොව ලොව ඕනැම තැනක දක්නට ඇත . එවා නුරුස්වන රජයන් කොතරම් බාධා කිරීම් කලත් අදටත් අන්තර්ජාල වාරණයන් 100%කින් සාර්ථක කරගත් රටක් නොමැත (උතුරු කොරියාව මෙන් සමස්ථ අන්තර්ජාලයම ප්‍රතික්ශේප කීරිමෙන් තොරව ) . අන්තර් ජාලය තුල නිර්ණාමිකව  ඕනැම තොරතුරක් ඵල කල හැකි වුවත් ඒවාට නිල වශයෙන් පවත්වාගෙන යන පුවත් මාධ්‍යක (අන්තර්ජාලය තුලම හෝ ) වලංගු භාවය ලැබෙන්නේ නැත , ඒනිසා අන්තර්ජාලයේ ස්වාභාවය නිසි ලෙස හඳුනාගත් ජනතාවක් සිටින රටක සාමාන්‍ය මහ ජනයා මෙන්ම දේශපාලකයින් හෝ කලාකරුවනුත් අන්තර්ජාලයේ  ලියවෙනා සෑම දෙයක්ම සිරියස් ගන්නේ නැත . එසේ කරනවා නම් බොහෝ සිනමා තරු වලට වෙබ් අඩවි වලට එරෙහිව නඩු පවරනවාට වඩා  දෙයක් කරන්නට ලැබෙන්නේ නැත .



වෙබ් අඩවියක දකිනා ඕනි කුණු ගොඩක් සත්‍යයෙන් ලෙස අදහනා මහ ජනතාව මෙන්ම ඒවාට බාල්දි පෙරලන දේශපාලුවන් හා කලාකරුවන් (කියා ගන්නා ) අන්තර්ජාලයේ යථාර්තය  තේරුම් ගෙන නොමැත .

රජයට එරෙහිව පුවත් පල කරනා ප්‍රධාන වෙබ් අඩවි සියල්ලම මේ වන   ශ්‍රි ලංකාව තුල නිල වශයෙන් වාරණය කර ඇතත් ඒවායේ  කටයුතු නතර කිරීමට හෝ පාඨකයින් පිරිස දුරස් කිරීමට හැකිවූ බවක් පෙනෙන්නට නැත . එපමණක් නොව පසුගිය දිනක කාර්යාල වටලා කතෘවරුන් කුදලාගෙන ගිය වෙබ් අඩවි දෙකෙන් එකක් එදින හවසත් යවත්කල් වීම තුලින්ද අන්තර්ජාලයේ තොරතුරු වලට  එරෙහි රජයේ ක්‍රියාමාර්ග වල අසාර්ථක භාවය පිලිබඳ ඔවුනට තේරුම් යායුතුය . අසභ්‍ය වෙබ් අඩවි තහනම් කර ඇති යැයි පැවසෙන ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වෙබ් අඩවි අතර xhamsters, xvideos වැනි වෙබ් අඩවි ලයිස්තු ගත වන්නේත් , ලොව පුරා බොහෝ රටවල තහනම් කර ඇති piratebay  වෙබ් අඩවිය කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙනයන්නෙත් අන්තර්ජාල වාරණයන්  හි අසාර්ථක භාවය නිසාමය

 ඒ නිසා අතීසාරයට අමුඩ ගසන්නට ගොස් චාටර් වෙන්නේ නැතිව (සහ ජාත්‍යන්තරය තුල ශ්‍රි ලංකාවේ ප්‍රතිරුපය තවත් කෙලෙසගන්නේ නැතුව )  , වෙබ් අඩවි තුලින් පතුරවනා මතවාදයන්ට එරෙහිව මතවාදයන්ගෙම උත්තර දීමට උත්සාහ කලා නම්  හොඳ බැව් සඳහන් කල යුතුය





Related Posts Plugin for WordPress, Blogger...
Back to Top