Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

November 2012

රනිල් ගැන පෙත්සමට ඔබාමා ක්‍රියාකාරි වේ !

ස්ථානය ධවල මන්දිරය , දිනය 2012/11/27 . වේලාව උදැසන 7


ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්බන්ධීකරණ ලේකම් වරිය කලබලයෙන් ඔබාමාගේ කාර්යාල කාමරය වෙත දිව ඒ .

ලේකම් -  සර්..සර් මාර වැඩෙනේ වෙලා තියෙන්නේ ...!!

ඔබාමා - මොකෝ කෙල්ලේ බයවෙලා , ඇයි ආයේ සැන්ඩිවත් එනවලුද ?

ලේකම්- නෑ ..සර් සැන්ඩි කොහෙද ආයෙ එන්නේ , මේක ඉන්ටර්නැශනල් ප්‍රොබ්ලම් එකක් .

ඔබාමා- ඉශ්‍රාල කාරයෝ ආයේ ගාසා තිරෙට ගහන්න අරගෙනද , මල කෙලියයි !

ලේකම් - අනේ  නැ සර් මේ ලංකාවේ කේස් එකක් .


ඔබාමා - නෑ(විශ්මයෙන් ) ..,, අර යවපු සැටලයිට් කාගේ හරි ඔලුවකටවත් පත බැවිලද ?

ලේකම් - නෑ සර් , පොඩ්ඩක් ඉන්නකො කියන කන් , අනික ඒ සැටලයිට් එක ලංකාවේ උනාට තියෙන්නේ චීනෙට උඩින්ලුනේ , ඉතින් වැටුනත් චීනෙක්ගේ ඔලුවට තමයි . මේක පොලිටිකල් කේස් එකක් . ලංකාවේ විපක්ෂ කායකය කමකට නෑය කියල එහෙ කට්ටියක් අපේ වෙබ් සයිට් එකේ පෙත්සමක් දාලා . ඒ විපක්ෂ නායක ආණ්ඩුවත් එක්ක ඩීල් දානවලු , විපක්ෂෙ අයව ආණ්ඩුවට එලවනවලු.මේ ආත්මෙට දිනන්න නම් බැලු  .. තව ගොඩාක් චෝදනා දාල තියනවා ..

ඔබාමා - අප්පට හුඩු , කෝ බලමු (ඔබාමා ලැප්ටොපයක් දිග හරියි ) , ශික් විතරක් මේ මල බකබාව ඕනිම වෙලාවට වැඩ නැනේ , ගහන්න හිතෙනවා පොලොවේ (වැරෙන් ලැප්ටොප්ය වසා දමයි ) 

ලෙකම් - සර් " බයි ඇමරිකන්" කියලා කැම්පේන් කලාට ගන්නේම චීන බඩුනේ ,ඔවා ඔහොම තමයි කොයි වෙලේ කැඩෙනවද දන්නේ නෑ 

ඔබාමා - අනේ කෙල්ලේ මේ නොදන්න මගුල් කථා නොකර නිකා ඉඳහන් , බයි ඇමරිකන්ය කියල ඇමරිකාවේ හදපු කොම්පිටුටර කොහෙන් හොයන්නද ? දැන් ඇපල් හදන්නෙත් චීනෙ .ඒක නෙමේ දැන් කොහොමද අත්සන් තත්වේ ඔන්න ඔය උඹේ කම්පියුටරෙන් වත්  බලලා කියහන් 


ලේකම් - සර් මං එනකොටත් අත්සන් 10,000 පැනලා ,තව පැය දෙකක් තුනක් යනකොට විසි පන්දාහ හරියයි 

ඔබාමා හිස කසමින් වේගයෙන් එහා මෙහා ඇවිදියි 

ඔබාමා - මේක හෙන සිරියස් කේස් එකක් , මට තනියම තීරණයක් ගන්න බෑ , හදිසි මීටිමක් කෝල් කරන්න වෙනවා . ඔය ලමයා දැන්ම හිලරිටයි , බේලෙක්ටයි කථා කරන්න , කැමරන්ට , හොලන්දේට, හාපර්ට, ජුලියට එහෙමත් පණිවිඩේ යවන්න . ආ මතක ඇතුව මන්මෝහන් ටත් පණිවිඩේ යවන්න .  අනිද්දට උදේ 9 වෙන කොට මෙහාට එන්නය කියලා

ලේකම් - සර් ඩොක්ට සිං ට  ලෝන්ග් ට්‍රිප් එකක් ඔරොත්තු දෙයිද ?

ඔබාමා - මිනිහගේ වයසේ හැටියට නම් ලැට් එකට යන්නත් අත්වාරුවක් ඕනි කාලේ , ඒත් ඔය ලොකේ වටේම යන්නේ යස අපුරුවට . කෝකටත් කියල Air India නැතුව හොඳ එකක එන්න රිටර්න් ටිකට් එකක් යවන්න මගේ ගානේ . මිනිහා නැතුව ලංකාවේ ඒව්වා ගැන කථා කරලා තරහ කරගන්න බෑ . යාන්තම් අපේ පැත්තට වැඩ කරන්න  පටන්  ගත්තා විතරයි . FDI ඇක්ට් එක ගෙනාපු එකේ ගුණෙවත් තියන්න ඕනි නේ



ලේකම්- ඕකේ සර් , එතකොට ජපානේ ප්‍රයිම් මිනිස්ටර්? 

ඔබාමා - මිනිහා ඕනි නෑ , එයා ඇදලා පැදල කියන එක ට්‍රාන්ස්ලේටර් කාරයා ආයෙ කියවන කන් අහගෙන ඉන්න ගියාම මට ම්ඤ්ඤං වගේ . ඒ නිසා මේ පාරට මිනිහා එපා 

ලේකම් - එතකොට නෙතන්යාහු සර් ?

ඔබාම - අපෝ එපා මිනිහා ප්‍රශ්න විසදන්න හදන්නේ කුඩු පට්ටම් කරලා , මිනිහා ආවොත් අර අහිංසක විපක්ෂ නායකයට මිසලිලයක් ගහලා වැඩේ ඉවර කරන්න කථා කරයි 

ලේකම් - ඒ වුනාට සර් ප්‍රයිම්මිනිස්ටර් නෙතන්යාහුගේන් හොඳ හොඳ අදහස් සර්  මීට කලිනුත් අරන් තියනවනේ


ඔබාම - ඒ වුනාට  මේ වගේ වැඩවලට මිනිහා හරියන්නේ නෑ, මිනිහාගේ යෝජනාවකට අපී බෑ කිව්වොත් ගිහින් සිරිකොතට මිසයිලයකුත් ගහලා පස්සෙ සොරි කියයි . අන්තිමේදි ඒකේ කට්ට කන්න වෙන්නෙත් මට . ඒ නිසා ඕනි නෑ

ලේකම් - ඔකේ , සර් මම කට්ටියටම ඉන්ෆෝර්ම් කරන්නම්  

---------------------------------------------------------------------------------

දින දෙකකට පසු -ධවල මන්දිරය 

අදාල රාජ්‍ය නායකයින් සහ නිලධාරින් රැස්වීමේ අසුන්ගෙන සිටී . ලේකම්වරිය රැස්වීමේ අරමුණු පැහැදිලි කිරීමේ දේශනය පවත්වමින් සිටි. ජනපති ඔබාමා ශාලවට ඇතුලුවේ 




ඔබාමා - ඔබතුමන්ලා, තුමියන්ලා මේ හදිසි රැස්වීමට හේතුව මොකක්ද කියලා මගේ ලේකම් තුමියගේ කථාවේන් දැනගන්න ඇතිනේ , මේ ප්‍රශ්නයේ බැරැරුම් කමත් එක්ක මේ ගැන  ඔබලාගේ අදහස් හා යෝජනා එක්ක අදම  තීරණකට එන්න ඕනි කියලා මම මතක් කරන්න කැමතියි .මොකද ලංකාවේ විපක්ෂය දුර්වල වෙනවාය කියන්නේ අපිට මේ වෙලාවේ ප්‍රභලතම තර්ජනය වෙලා තියන ප්‍රසිඩන්ට් රාජපක්ෂ තව සැහෙන කාලයක් බලයේ ඉන්න එක . 

කාලයක් ලංකාවේ හිටපු කෙනෙක් විදිහට මිස්ට බ්ලේක් ඔබගේ අදහස මොකක්ද මේ ගැන . ආ.. මිස්ට කැමරන් ඔය එහා පැත්තේ ඉන්න ඩොක්ට සිංව ඇහැරවන්න පුලුවන්ද පොඩ්ඩක් !

බ්ලෙක් - ඇත්තටම සර් මට නම් හිතෙන්නේ ඔය චෝදනා ඔක්කොම හරි . ඩීල් දාන එක  නම් සර් ලංකාවේ හැමෝම කරනවා , මොකද විපක්ෂ නායකයට වුනත් රැකිලා ඉන්න නම් ඉන්න ජනාධිපතිත් එක්ක ඉඳලා හිටල ඩීල් දාගන්න වෙනවා . මිස්ට වික්‍රමසිංහ මම ලංකාවට යනකොටත් විපක්ෂ නායක එනකොටත් එහෙමයි , ඒ ටික කාලෙටත් විපක්ෂේ මන්ත්‍රි වරු ගාණ සැහෙන්න අඩු වුනා , ඒ නිසා මම නම් හිතන්නේ මිස්ට වික්‍රමසිංහ දිගටම විපක්ෂ නායක කමේ ඉන්නවා කියන්නේ මිස්ට රාජපක්ෂත් දිගටම ජනාධිපති කියන එකයි කියල. 


ඔබාමා- හොඳයි මිසිස් ක්ලින්ටන් මේ ගැන කියන්නේ මොකක්ද ?

හිලරි.ක්- බලමු මිස්ට ප්‍රසිඩනට් අනික් අයගෙ අදහසුත් අරගෙන , මිස්ට වික්‍රමසිංහ විපක්ෂ නායක කමෙන් අයින් කලාට ඊලඟට එතනට ගේන කෙනා කව්ද කියන ප්‍රශ්නයත් තියනව .

ඔබාමා - (තමාටම ) මේ ගැනි නම් අර කපටි රජාගේ ගැනිම තමා . ලංකාවේ අසල් වැසියා විදිහට ඩොක්ට සිං මොකද කියන්නේ මිස්ට වික්‍රමසිංහ ගැන 

සිං- වරදක් නෑ , හොඳ මනුස්සා , මම එන්න කියන පරක්කුවෙන් දිල්ලයට ඇවිත් මාත් එක්ක කලු කෝපි බිබි කථාවක් දාගෙන ඉඳලා යනවා . 

ඔබාමා - එහෙම නෙමේ ඩොක්ට සිං . විපක්ෂ නායක කෙනෙක් විදිහට මිස්ට වික්‍රමසිංහ සාර්ථක මදි කියල ගැටලුවක් තියනවනේ 

සිං - ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙමේ නේ එයාගේ පක්ෂෙ කට්ටියගේ ප්‍රශ්නයක් නේ . ඇයි අපි ඕකට හොට දාන්න යන්නේ ?


ඔබාම - ඒ වුනාට ඩොක්ට සිං එකෙන් වෙන්නේ ප්‍රසිඩන්ට් රාජපක්ෂ දිගටම බලයේ ඉන්න එක , එයා චීනෙත් එක්ක වැඩියි කියලා කැගහන්නේ ඕගොල්ලමනේ , ඒක ප්‍රශ්නයක් නෙමේද ?

සිං- ඒක නම් ප්‍රශ්නයක් තමයි ඒත් මට නම් තාම හැන්ඩල් කරගන්න පුලුවන් , කොහොමටත් ලංකාවේ කවුරු  හිටියත් අපිට ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ

ඔබාම - (තමාටම )- එහෙනම් මොකටද දන්නේ නෑ අර පැන්ශන් කිය ජෙනරාල්ට කෙලවන්න උදව් කලේ.

 ඒ කියන්නේ මිස්ට වික්‍රම සිංහ දිගටම විපක්ෂ නායකකමේ හිටියාට කමක් නෑ කියලයි ඔබතුමා කියන්නේ ?

සිං - මම එහෙමම කියන්නේ නෑ , ඕනිම නම් මම මිසිස් සෝනියාගෙන් අහල හරියටම කියන්නම් . හැබැයි එයත් ස්ථීර අදහසක් කියන එකක් නැ මේ ගැන 

ඔබාම - (නොදකින් මේ යකා ) .  එහෙම වැනෙන ස්ථාවරයක ඉඳලා හරියන්නෙ නැනේ ඩොක්ට සිං , ඔබතුමාට ස්ථීර අදහසක් නැත්නම් අපි ගන්න තීරණයකට බාල්දි පෙල්ලන්නේ නැතුව එකඟ වෙන්න පුලුවන්ද ?

සිං- ප්‍රශ්නයක් නෑ ,මට ඔය වැඩේ හොඳට පුරුදුයි (තමාටම ) මම කොංග්‍රස් එක අස්සෙත් මට කරන්න වෙලා තියෙන්නේ ඕකමනේ


ඔබාම - මිස්ට හාපර් , මිස් ජුලියා ඔගොල්ල මොකද මේ ගැන කියන්නේ

හාපර් - මම ලංකාව ගැන හරියටම දන්නේ නෑ ඒ නිසා මිස්ට බ්ලේක් ගේ අදහස අනුව කටයුතු කරන එක හොඳයි කියලයි මට හිතෙන්නේ . කොහොම හරි මිස්ට රාජපක්ෂව නම් පුලුවන් ඉක්මනින් අයින් කරන්න ඕනි . (තමාටම ) නැත්නම් කැනඩාවේ ඉන්න දෙමලු ටික මාව කන්න හදනවා 

ජුලියා - මම හිතන්නේ මේ ගැන හොඳටම දන්නේ  ඩොක්ට සිං , ඒ නිසා එයාගේ ස්ථාවරය අනුව කටයුතු කරන එක හොඳයි 

ඔබාමා - (තමාටම ) කටයුතු කරන්න ඒ යකාට ස්ථාවරයක් තියෙන්න එපායැ ගැනියේ . කැමරන් , මිස්ට හොල්න්දේ ඔගොල්ලන්ගේ අදහස මොකක්ද මේ ගැන 



කැමරන් - මිස්ට වික්‍රමසිංහ  හොඳ නැතිවෙන්න පුලුවන් , ඒත් අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි කෙනෙක් ගේන එකේ තේරුමක් නෑ . නේද මිස්ට හොලන්දේ?

හොලන්දේ - ඒක හරි . මිස්ට ඔබාම බැරිද අපිට මිස්ට වික්‍රමසිංහව  තියාගෙනම  රාජපක්ෂව අයින් කරන්න 

ඔබාමා - (තමාටම )මේ යක්කු දෙන්නා මඟුලක් කථා කරනවා , උගේම පක්ෂේ එවුන් ඌට දිනන්න බැ කියත්දි අපි මක් කරන්නද . එහෙම බැරි එකනේ මිස්ට හොලන්දේ ප්‍රශ්නේ , මේ විදිහට මේක කරගෙන යන්න බෑ , කරන්න පුලුවන් දෙයක් ගැන කවරු හරි ස්ථීර අදහසක් දරන්න වෙනවා

නොයෙකුත් මත පලවෙමින් වාදය ඉදිරියට ඇදේ , ආචාර්ය මන් මෝහන් සිං පමණක් එයට සහභාගි නොවී නිදි කිරමින් සිටී . ඔබාමාගේ ලේකම්වරිය කලබලයෙන් දිව ඒ .

ලේකම් - සර් ! මාර ප්‍රශ්නේ 
ඔබාමා - ඇයි ඒ පාර මොකද ?

ලේකම් - ප්‍රයිමිනිස්ටර් නෙතන්යාහු එලියේ ඉන්නවා , හොඳටම කේන්ති ගිහින් ඒයාට ආරධනා නොකලාට . මම පොඩ්ඩක් ශේප් කලා ඇතුලට එවන්නද 

ඔබාමා - (ඔලුව කසමින් ) මල මගුලයි , එන්න කියනවකො , මම 2013 ඉවර වෙන්න කලින් ඉරානෙට ගහනව කියල හරි පස්සේ මැන්ව ශේප් කරගන්නම් 

ලෙකම් වරිය පිටව යයි , නෙතන්යාහු ඔබාමාට ඔරවමින් අසුන් ගනියි 

නෙනත්යාහු - දැන් මොකක්ද කට්ටියගේ තීරණේ ?

ඔබාමා - ප්‍රශ්නේ තියෙන්නේ මිස්ට නෙතන් යාහු මිස්ට වික්‍රමසිංහට දිනන්න බැරි වුනත් , දිනන්න පුලුවන් අපිට කොන්ට්‍රෝල් කරගන්න බැරි කෙනෙක් ගේන එකෙනුත් වැඩක් නැති එක . එහෙම කියලා ප්‍රසිඩනට් රාජපක්ෂට දිගටම ඉන්න දෙන එකත් අපිට ප්‍රශ්නයක් . අපි උභතෝකෝටිකයට මැදිවෙලා ඉන්නේ









නෙතන්යාහු - ඕකට ඔච්චර තටමන්න ඕනියැ , වික්‍රමසිංහට දිනන්න බැරි නම් අපි  මෑන්ව දිනවල දෙමු , මොකෝ CIA එකට ඕවා අලුතෙන් කියා දෙන්න ඕනි දේවල් යෑ 

ඔබාමා - (තමාටම ) ශික් විතරක් මට ඕක වගක් උනේම නැනේ

නෙතන්යාහු -  CIA එක විතරක් නෙවෙයි මොසැඩ් එකෙයි MI6 එකෙයි උදව්වත්  ගන්න පුලුවන් , රෝ එකෙනුත් ලොකු වැඩක් ගත්තහැකි 

කැමරන් - ඔව් මාත් එකඟයි .

හොලන්දේ - ඔව් ඒක තමයි හොඳම වැඩේ 

ඔබාම - හොඳයි හාපර්, ජුලියා කොහොමත් ප්‍රශ්නයක් නැනෙ , මොකද මිසිස් ක්ලින්ටන් කියන්නේ ?

ක්ලින්ටන් - ඔව් මම එකඟයි , මේ වැඩේ තියන වැදගත් කම බැලුවාම , මට ප්‍රස්ඩන්ට් ක්ලින්ටන්ගේ එක්ස්පර්ටීසුත් මේ වැටේඩ අරන් දෙන්න පුලුවන් වෙයි

ඔබාම - බොහොම හොඳයි එහෙම නම්  වැඩේ තීන්දුයි ,  නේද ඩොක්ට සිං ?


සිං - (එක් වරම අවදි වෙමින් ) ඇ ..ඈ. මොකක්ද ? ඔව් මට නම් ඕනි එකක් හොඳයි . මොකක්ද දැන් කරන්නේ ?

ඔබාමා - (තමාටම ) මේ යකා *&^%^%^$% 

නෙතන්යාහු - මේකයි ප්‍රයිමිනිස්ටර් අපි  තීරණය කලා වික්‍රමසිංහව දිගටම  තියාගෙන කොහොම හරි දිනවන්න අපේ සහය දෙන්න , CIA .MI6 Mossad තුනමත් ඒ වැඩේට ලැස්තියි . මිසිස් ක්ලින්ටන් කිව්වා මිස්ට ක්ලින්ටනුවත් වැඩේට එකතු කරනවා කියලා . අපිට රෝ එකේ සහයත් ඕනි වෙනවා

සිං- (තමාටම ) CIA MI6 Mossad ඔක්කොමත් එක්ක ක්ලින්ටනුත් ඉන්නව නම් ආයෙ රෝ එකක් මොකටද , මේ පාර නම් රාජපක්ෂ මලයට  අබ සරණයි වගේ . හොඳයි මිස්ට නෙතන්යාහු වැඩපිලිවෙල . රෝ එක නම් කොහොමටත් ලංකාවේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නේ , උදව්වක් ඕනි වුනොත් කියන්න කරල දෙන්න පුලුවන් .


භෝජන සංග්‍රහයකින් පසු සභා තොමෝ සතුටින් විසිර යන ලදී !

                                           Notice - Just a political Humor. No Defamation Intended 



ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් !


ආදරණීය හමාස් අන්කල්ලා වෙතය

මේ වෙනකොට නම් ඔයාලා ඩිංගක් සැනසීමෙන් ඉන්නවා ඇතිය කියා සිතමි . ඊජිතුවේ ජනාධිපති අන්කලුයි ක්ලින්ටන් ආච්චිටයි පින් සිද්ධ වෙන්නට හිතේ ගින්දරක් නැතුව බත් ඩිංගක් හෝ කන්නට  චාන්ස් එකක්  ටික දොහකට පස්සේ අන්කල්ලාට ලැබි ඇතැයි කියා මට හිතෙනවාය  , අන්කල් ලා ගැන මම හරියට දන්නේ නැති වුනාට පලස්තීයනය කියන්නේ අපේ ආඩම්බර කාර පියා අන්කල්ගේ හොඳම යාලුවෙක් කියා නම් දන්නවාය , අන්කල්ලා අල්ලන් ඉන්නේ පල්ස්තීනයෙන් කැල්ලක් විතරක් උනත් අන්කල් ලා කරන්නේත් අධිරාජ්‍ය විරෝධි සටනක්ය කියා , කොහොමටත් දේශප්‍රේමි අධිරාජ්‍ය විරෝධී හිච්චි එකාටත් හිතෙනවාය . මීට කලින් ගඩාෆි අන්කල්ටයි අසාද අන්කල්ටයිත් මම මෙහෙම ලියුම් යවලා තියනවාය .

අන්කල්ලා පහුගිය සතියම කලේ ජල්ලි අල්ලපු එකය , ඇත්තටම කිව්වොත් ඊශ්‍රාලයෙන් කාපු එකය . ඒ වුනාට ආශ්චර්යයේ අපට නම් පහුගිය සතිය මාර සතුටුය . ඒ අපේ ආඩම්භර කාර චූටි අය්යා චන්ද්‍රිකාවක් උඩ යවන නිසාය , අන්කල් ලා වගේ නෙමේය එතකොට අපිත් අපේම කියලා චන්ද්‍රිකාවක් තියන රටක් වෙනවාය . අපේ තාත්තා නම් චන්ද්‍රිකා කෙලියට විරුද්ධය . තාත්තා කියන්නේ  ඔය යවන චන්ද්‍රිකාව චිනුන්ගේ කසි කබලක් කියලාය , ඕවට අපේ ලමයින්ටවත් ගෙවන්න වෙනවා කියලාය . තාත්තා කොහොමත් දේශද්‍රෝහි අධිරාජ්‍ය වාදි පොරක්ය . ඒ නිසා හොඳ වැඩක් කරන්න හදන හැම වෙලාවකම කියන්නේ ඔය වගේ කුප්ප කථාවක්ය . හැබැයි තාත්තා අම්මාට ඇහෙන්න නම්  චන්ද්‍රිකාවට බනින්න යන්නේ නැය , මොකද අපේ අම්මා 94දී යවපු චන්ද්‍රිකාවටත් වඩා සැර බව තාත්තා දන්නවාය . මාත් අම්මාත් අන්කල් ලාගේ පැත්තේ වුනත් තාත්තා නම් කඩේ යන්නේ ඉශ්‍රාලයටය . තාත්තා කියන්නේ ඕනි වටවඩා  බෝ කරන්න ගියාම යුද්ධ වෙලා හරි මැරෙනවා තමයි යකුනේ කියාය . මුස්ලිම් රටක් යුද්ධයක් යන හැමවෙලාකම තාත්තා කියන්නේ ඔය කථාවය . ගහපු සාම ගිවිසුමට තාත්තාට හොඳටම මලය . පැය දෙකක් තිස්සේ බැන්නේ ඇමරිකාවේ මිනිස්සුන්ටය ඒ රොමේනි වෙනුවට ඔබාමා අන්කල්ව ආපහු සැරයක් දිනවපු එකටය . තාත්තා කියන්නේ රොමේනි අන්කල් ජනාධිපති වුනා නම් මේ වෙනකොට  අන්කල් ලා තියා ගාසා තීරයවත් හොයා ගන්නට ලැබෙන්නේ නෑ කියාය . තාත්තා නිවාඩු දාගෙන ඇමරිකන් චන්ද ප්‍රතිපල බැලුවේ රොමේනි අන්කල් දිනයි කියලාය , අම්මාත් මාත් සපෝට් කලේ ඔබාමා අන්කල්ටය , අම්මා කියන්නේ හම ඩිංගක් කලු නිසා ඔබාම චුට්ටක් විතර අධිරාජ්‍ය විරෝධි කියලාය .

අපේ අය්යා නම් කියන්නේ ඔබාමත් රෝමෙනිත් වෙනස් දවටන වල එතුව එකම ටොපියක්ය කියලාය . ඌ කොහොමත් දෙන්නේ මේ වගේ දාර්ශනික ටෝක්ය . කැම්පස් ඉවර වෙලා ගෙදර ඉන්න ගත්ත එකෙන් උගේ දාර්ශකින ටෝක්  අහන්න වෙලා තියෙන්නේ මටය . අය්යා නම් කියන්නේ චන්ද්‍රිකාවක් යවන එකේ වැරැද්දක් නෑ කියලාය . හැබැයි ඊට කලින් "කොස් බෙනිෆිට් පැරලයිසිස්ද" මොකක්ද කරලා බලලා ඉන්න ඕනැය , එක එක්කෙනාට හිතුන හිතුන විදිහට යැව්වොත්  නම් අපරාදේ ලුය.අය්යා කියන්නේ "ලෝන්චින් කේප්පබිලිටිස්" ද මොනවද තියෙන්නේ රටවල් කිහිපයකට විතරක්ලුය , ඒ නිසා අපිට කොහොමටත් යවන්න වෙන්නේ ඒ රටකට කියලාය . ඒ වුනත් චීනෙට නැතුව රුසියාවට හරි ඉන්දියාවට හරි කියා ඇර ගත්තා නම් අපේ විදේශ ප්‍රතිපත්තිය පොඩ්ඩක් බැලන්ස් වෙනවාලුය . අය්යා  අන්කල්ලාත් ඊශ්‍රාලය ගැනත් ලොකු දේශනාවක් දුන්නාය . මට එයින් බාගෙට බාගයක් තෙරෙන්නේ නෑය. ඌ නොදන්න කෙහෙල් කියවනව මදිවාට අතරමැද්දට කඩු කැලිත් බස්සනවාය . මූ කැම්පස් යන කාලේ මලාට කඩ්ඩෙන් කථා කලේ නැය . සුද්දෙක් පාර ඇහුවත් කියන්නේ සිංහලෙන්ය . ඒත් ජොබ් ඉන්ටර්විව් යන්න පටන් ගත්ත දවසේ ඉඳහන් දෙකෙන් පංගුවක් කථා කරන්නේ කඩ්ඩෙන්ය . මේ වැඩේට තාත්තාත් අම්මාත් සාම ගිවිසුමක් ගහලා සප් එක දෙන නිසා මම අනාථය , මට හෝඩියෙන් එහාට කඩ්ඩ කොටා ගන්න බැරිය . අපේ  ඉංගිරිස් මිස් ගිය අවුරුද්දේ ප්‍රසුත නිවාඩු ගිය ගමන් තාමත් ආවේ නෑය . ඒයා ගෙවල් ලඟ ඉස්කෝලෙකට මාරුවක් හදාගෙනලුය . ඒ හින්දා මට දන්න ඉංග්‍රිසියත් දැන් මතක නෑය . කොහොමින් හරි අය්යා කියන විදිහට ඉශ්‍රාලේ අන්කල්ලා අවුරුදු පනහෙන් සැහෙන දියුණු වෙලාය . "ප කැපිටල්" "එච් වී අයි" ඔන්න ඔහොම  ජාති ගොඩකින් ඒ අන්කල් ලා ඉන්නේ සැහෙන ඉහලින්ලුය .මුල ඉඳන්ම සප් එක දුන්න ඔබාමා අන්කල්ට වගේම ලඟකදී සෙට් වෙච්ච මන් මෝහන් සියාටත් ආයුධ විකුණනවාය.  ඒ ගොල්ලන්ට සැටලයිටුත් යවන්න පුලුවන්ලුය , "බලාස්ටික්ද " මොකක්ද පට්ට දුරක් යවන්න පුලුවන් මිසයිලත් තියනවාලුය. ගහන මිසයිල නවත්තන්න පුලුවන් "මිසයිල ෆීල්ඩ්" ද මොකක්ද ඒවත් තියනවාලුය . ඉතින් එහෙව් රටක් එක්ක හැප්පෙන්න යන්නේ අන්කල්ලාට මොලේ උණලුය . අන්කල් ලා කන්නේ ඉල්ලාගෙනලුය . හැබැයි "සිවිලියන් කැශූනට්" කියල ජාතියක් නිසා අය්යා ඉශ්‍රාල අන්කල් ලා ගේ ගැහිල්ලත් තරයේ හෙලා දකිනවාය .

කැම්පස් ඉන්න කාලේ නම් අය්යා  කෙලින්ම අධිරාජ්‍ය විරෝධීය . හැබැයි දැන් නම් කියවන්නේ ඔය වගේ දෙපැත්තටම නැති පිචං කථාය .  තාත්තා ඉශ්‍රාලය ගහන එකෙන් ආතල් ගන්නවාට අය්යා තරහය . ඒත් ඉස්සර වගේ අය්යා තාත්තා එක්ක වාදෙට යන්නේ නෑය .මොකද   තාත්තාගේ පර්මිට් එකට ලැම්බෝගිනියක් ගන්නවා කියලා තාත්තා අය්යාට කියලාය , අය්යා ඉන්නේ ඒකෙන් වැඩට යන්න බලාගෙනය .  දැන් පර්මිට් විකුණන්න පුලුවන් නිසා ඒක විකුණා ගේ හදන්න ගත්ත ණය බේරන්න තාත්තා අම්මාට පොරොන්දු වුනා කියා අය්යා තාම දන්නේ නෑය . දැන ගත්තා වුනත් අය්යාට ඉස්සර වගේ වාද කරන්න පුලුවන්ය කියලා මට හිතෙන්නේ නෑය . කැම්පස් යන කාලේ අය්යා අධිරාජ්‍ය විරෝධී කඳවුරේය , තාත්තා අධිරාජ්‍ය වාදි කඳවුරේය ඉතින් දෙන්නා වාද කරන්න ගත්තාම පාර්ලිමෙන්තුව පරාදය . ඒත් දැන් අය්යා මොන කඳවුරකත් නෑය , ඌ ඉන්නේ කඳවුරු දෙක අතරමැදය .ඉන්ටව් යන්න රැවුල කපන කොට අය්යාගේ විප්ලවයත් කැපී ගිහිල්ලාද කොහෙදය . ඉතින් වාද කරන්න බෑය . තාත්තා නම් කියන්නේ අය්යා ජොබ් එකකට ගිහින් සති දෙකෙන් අධිරාජ්‍ය වාදී කඳවුරටම තල්ලු වෙනවාය කියලාය . කැම්පස් යන කාලේ අරගල කරපු තාත්තාට වුනේත් ඒකලුය .

තාත්තා අධිරාජ්‍යවාදි කඳවුරට එකතු වුනාට තාත්තාගේ කැම්පස් කාලේ ඉඳන්ම ෆිට් එකක් වූ වීරසිංහ අන්කල් නම් එහෙම වුනේ නෑය . තාත්තාට කාර් පර්මිට් හම්බුවුනාට වීරේ අන්කල් තාම යන්නේ තාත්තාගේ පරණ නයින්ටියේය . විරේ  අන්කල් හිත හොඳ මිනිහාය , කාගේත් දුකට පිහිට වෙනවාය ඒ වුනාට අපි දන්න කාලේ ඉඳන් වීරේ අන්කල් එක තැනය .  තාත්තා වගේ  නොවේය විරේ අන්කල් ෆේස්බුකියෙත් ඉන්නවාය . හැබැයි මුණු පොතෙන් කියන්නෙත් වික්‍රමබාහු සීයා කියන ජාතියේ කථාය . වේ  ගුවෙරා අන්කල් ඉස්කෝලේ යනකාලේ ගත්ත ෆොටෝ එකක්  ප්‍රොෆියලයට දාගෙන ඉන්න නිසා විරේ අන්කල්ට මට වඩා කෙල්ලන්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එනවාය . මුණු පොතෙ කොල්ලො කෙල්ලන්  අන්කල්ලාගේ ජනතාව වෙනුවෙන් ෆොටෝ ශෙයා කලාට විරේ අන්කල්ට නප්පියට මල පැනලාය . ඒ නන්දිකඩාල්වල දෙමල මිනිස්සු මැරෙත්දි හුරේ දාපු උන් වෙන රටක මිනිසුන් ගැන විතරක් ෆොටෝ ශෙයා කරනවා කියලාය . හැබැයි විරේ අන්කලුත් ඊශ්‍රාලයේ ගැහිල්ලට අපි වගේම විරුද්ධය , ඒ ඊශ්‍රාලය අධිරාජ්‍ය වාදි කඳවුරේ නිසාය .හැබැයි විරේ  අන්කල්  තාත්තා එක්ක නම් ඕවා කියවන්න යන්නේ නැය , මොකද එහෙම වුනොත් තාත්තාට රට ඉන්න යාලුවෝ ගෙනත් දෙන බෝතල් වලින් මතට තිත තියන්න බැරි වෙන නිසාය . ඒ නිසා ඒ දෙන්නා එකතු වුනාම කරන්නේ අපේ ආඩම්භර කාර පියා අන්කල්ට බනින එකය . ඒ නිසා විරේ අන්කල්වත් මට දිරවන්නේ නෑය .

අපේ අය්යාගේ ඉස්කොලෙ යන කාලේ බොක්කක් ඊයේ අපේ ගෙදර ආවාය . පොර පෝයටවත් පන්සල් යන්නේ නැය ඒ වුනාට ෆේස් බුකියෙන් රටයි ජාතියයි ආගමයි බේර ගන්න කථා කරනවාය . ඌ හොඳම බොක්කක් වුනත් අය්යා ඌව ෆේස් බුක් එකේ බ්ලොක් කරලාය , ඒ ඌගේ ජාතිවාදි පෝස්ට් දැක්කාම අය්යාට මල පනින නිසාය . ඌට නම් අන්කල්ලාගේ රටේ මිනිස්සු මැරෙන එකත් මාර හැපිය , ඌ කියන්නේ ඒ බංග්ලාදේශයේ පිලිම කැඩුවාට පඩිසන් දෙන හැටි කියාය . බංගල්දාසේ උන් කරපු වැරැද්දට පලස්තීන කාරයින්ට පඩිසන් දෙන්නේ කොහොමද කියා අය්යා ඇහුවාම ඌ කියන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය කොහෙන් කෝ කෙල වෙන්නට ඕනිය කියාය , ඌට අනුව කොයි තම්බියාත් එකය . පල්ස්තීනයේ  මිනිස්සු මැරුණාට ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තවාදයට බලපාන්නේ නෑය කියන්නට අය්යා දේශනයක් පටන් ගත්තාය . ඒත් අරුට අය්යාගේ මහප්ප්‍රාණ දිරවන්නේ නෑය .ඌ මගෙන් ෂාරුක් ඛාන්ගේ ෆිල්ම් එකක් පෙන් එකට දාගෙන  ගෙදර ගියාය .

අනන් මනන් වල් පල් ගොඩක් කියලාය . මගේ හැටි එහෙමය කියන්න  ඉන්න දේ කියවෙන්නේ නැය . මට කියන්න ඕනි වුනේ අන්කල්ලාට පරිස්සමෙන් ඉන්න කියන්නය . මොකද අන්කල්ලා ඕනිවට වඩා සද්ද දාන්න ගියොත් ඔය තියන තීරුවත් නැතිවෙන්න පුලුවන්ය . එහෙම නම් මම නවතිනවාය . අන්කල්ලාට ගොඩ් බ්ලෙස් යූ ය .

                                                                                                            මීට තණමල්විල හිච්චි එකා

දේශද්‍රෝහී පාහරයන් විසින් ජනතාවගෙන් වසන් කරනු ලබන 2013 අය වැයේ සැබැ ප්‍රතිලාභ !

සන්ධාන රජයේ 2013 වසර අය වැය පිලිබඳව නොයෙකුත් මතවාදයන් , අන්තර්ජාලය පුරා දක්නට ඇත . මේවා දෙස විමසිල්ලෙන් බැලු විට පෙනී යන කරුණ නම්  රටේ සහ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය සඳහා වන අගනා යෝජනා රැසක් අන්තර්ගත උක්ත අය වැයෙ  අභිලාශයන් ජනතාවගෙන් වසන් කරණු වස් දේශද්‍රෝහි  පාහරයින් පිරිසක් විසින් පතුරවා හරිනු ලබන මිත්‍යාවන් පමණක් බවය. පහතින් දැක්වෙන්නේ එවන් චෝදනාවන් සහ ඒවායේ සැඟවුනු  යථාර්තයන්ය .


රේසින් කාර් සඳහා බදු සහන 

ශ්‍රි ලංකාවේ දැනට පවතින සහ ඉදිවෙමින් පවතින F1 ධාවන පත දක්ෂිණ ආසියාවේ පමණක් නොව සමස්ථ ආසියා කරයේම මෝටර් රථ ධාවන තරඟ සඳහා  හොඳම පහසුකම් සහිත රට  බවට  මෙරට පත්කෙරෙමින් පවතී. රේසින් මෝටර් රථ සඳහා ලබා දෙන බදු සහනය මඟින් මෙරට සිටින දහස් සංඛ්‍යාත තරඟ කරුවන්ට සහන මිලට මෝටර් රථ මිලදී ගෙන අදාල තරඟාවලි ජයග්‍රහණය කිරීමෙ හැකියාව ලැබෙන අතර , ඉදිවෙමින් පවතින ධාවන පත නිමවූ පසු  ඇතිවන ධාවන පත අතිරික්තය විදේශිකයින්ට ශ්‍රි ලංකාවේ අඩුමිල ගණන් යටතේ මෝටර් රථ මිලදී ගෙන තම පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවකාශයද ලබා දේ.මොටර් රථ ධාවන තරඟ නැරඹීමට පැමිණෙන  සංචාරකයින්ගෙන් ලැබෙනා අදායම රුපියල් බිලියන 1000ක් බව ගණන් බලා ඇති අතර. නොබෝ දිනකින් මන්නාරම් ද්‍රෝනියෙන් ලබා ගන්නා ඉන්ධන , ඉන්ධන දහනය අධික රේසින් මෝටර් රථ සඳහා දේශීය වෙලඳ පොල තුලදී අලවියෙන් පමණක් රුපියල් බිලියන 1500ක් වසර 3ක්  තුලදී ලබා ගැනීමට  නියමිතය.


ධාරිතාව 1000ccට අඩු වාහන සඳහා බදු ඉහල දැමීම

එංජින් ධාරිතාව 1000ccට අඩු වාහන වල ගුණාත්මක භාවය පිලිබඳ නිරන්තරයෙන් නැඟුන පැමිණිලි මෙන්ම ,  අධි වේගි මාර්ග ඇතුලු සුපිරි මාර්ග පද්ධතියකින් යුත්  ශ්‍රි ලංකාවේ මහ මාර්ගයන්හි එවැනි බාල වර්ගයේ වාහන දක්නට ලැබීම රටේ ප්‍රතිරූපයට බරපතල හානියක් බවද විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.එමෙන්ම මෙම බදු ඉහල දැමීම හරහා පූර්න වශයෙන් ඉන්දියානු නිෂ්පාදන වන බාල වර්ගයේ වාහන සඳහා මෙරට  වෙලඳ පොල සම්පුර්ණයෙන්ම අහිමි වන අතර මරුටි සුසුකි, බජාජ් වැනි ඉන්දියානු මෝටර් රථ සමාගම් වැසී  යාමේ හැකියාවක්ද පවතින අතර , එමගින් රැකියා අහිමි වන ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ජනතාව හරහා එරට රජයට ප්‍රභල විරෝධයක්  තුලින් මතු කිරීම මගින්  මානව හිමිකම් සමුලුවේදී  දැක්වූ අධිරාජ්‍ය වාදී බටහිර ගැති පිලිවෙතට විරෝධය පල කිරීම මේ තුල සැඟවුනු තවත් දේශපාලනික අරමුණක් බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් විසින් පවසා සිටී .  


කිරි පිටි ඇතුලු ආහර ද්‍රව්‍ය සඳහා බදු 

රට අහරින් ස්වයං පෝෂිත කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති මේ මොහොතේ දේශීය ගොවියාගේ නිෂ්පාදන වලට ඉහල මිලක් ලබාදීමත් , බහුජාතික සමාගම් වලට මෙරට ආහාර ද්‍රව්‍ය වල කෙරේ ඇති ඒකාධිකාරය අවසන් කිරීමත්, දැනටමත්  නිෂ්පාදන අතිරික්තයන්ව ඇති දියර කිරි සහ  ටින් මාලු වල මිල ස්ථාවරව පවත්වා ගැනීමත්  මේ හරහා අපේක්ෂිත ප්‍රතිලාභයන්ය . එමෙන්ම ඉදිරියේදී දිවි නැගුම හරහා ධාන්‍ය ඇට වලට අමතරව  කිරි ගවයින් සහ කුඩා සැමන් මාලු පැටවුන් බෙදා දීමටත් නිවසේදීම සැමන් නිපදවා ගැනීමට අවශ්‍ය උපදේස් සහ  ණය ආධාරත් ලබා දීමට  අදාල සැලසුම් දැනටමත් සකස් කර ඇත


රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවීම සහ පුද්ගලික අංශය්ට වැටුප් වැඩි වීම් ලබා නොදීම

රාජ්‍ය සේවකයින් විසින් පසුගිය මැතිවරණ සියල්ල පුරාවට දිගින් දිගටම රජයට දන්වා සිටි පණිවුඩය දැනට ලබනා වැටුප් ප්‍රමාණවත් බවය . තත්වය එසේ තිබියදීත් රාජ්‍ය සේවකයින් කෙරේ කෙලෙගුණ සකලනු වස් රුපියල් 1500කින් ඔවුනගේ වැටුප් ඉහල දමා ඇත . රුපියල් 2500කින් මාසයක් ජීවත් වන රාජ්‍ය සේවකයින් හට එක්වර 1500ක වැටුප් වැඩිවීමක් ලබාදීම , ඔවුන් අයථා වියදම් සඳහා පෙලඹවන්නක් විය හැකි බැවින් එම මුදල වාරයන් දෙකකදී ලබා දීමට රජය විසින් තීරණය කර ඇත . රාජ්‍ය සේවකයින්ට වඩා ඉහල වැටුප් ලබනා පෞද්ගලික අංශයේ සේවකයින් ගේ ආදායම් ප්‍රමාණවත් බව රටේ ඉතුරුම් ප්‍රමාණය ඉහල යාම සහ කොටස් වෙලඳ පොලේ සුලු පරිමාණ ආයෝජකයින්ගේ ප්‍රමාණය පසුගිය වසර කිහිපය තුල සැලකිය යුතු ලෙස ඉහල යාම තුලින් පෙන්නුම් කරනා බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතය වී ඇත . පසුගිය සමයේ රජය විසින් යෝජනා කල විශ්‍රාම වැටුප ප්‍රතික්ශේප කිරීම තුලින්ද පෞද්ගලික සේවකයින් තමන්ගේ ආදයම් ප්‍රමාණවත් බව සහ  තමන්ගේ  ඉතුරුම් විශ්‍රාමික දිවිය සඳහා ප්‍රමාණවත් බවත් රජයට ඉතා පැහැදිලි ලෙස දන්වා ඇති බව විශ්ලේෂක මතයයි


විදේස් ආයෝජන දිරිමත් නොකිරී

රජය විසින් පසුගිය වසර කිහිපය පුරාවට විදෙස් ආයෝජන දිරිමත් කිරිමේ ප්‍රථිපලයක් ලෙස ඉන්දියානු සහ චීන සමාගම් රාශියක් මෙරට හෝටල් සහ නිවාස සංකීර්ණ ඉදිකිරිමේ  මහා පරිමාන ආයෝජන සිදු කර ඇත . තව දුරටත් විදේස් ආයෝජකයින් හට සහන ලබාදීම දේශීය ව්‍යවසායකයින් අධෛර්යට පත්කරන්නක් විය හැකි බැවින් රජය විසින් විදේස් ආයෝජන සඳහා විශේස සහනයන් ලබා නොදීමට තීරනය කර ඇත

ඉහත දැක්වූ පරිද්දෙන් මෙවර අයවැය යෝජනා තුලින් ශ්‍රි ලංකාව සංවර්ධිත රටක් කරා ගෙන යාමේ දැවැන්ත කෙටි හා දිගු කාලීන අභිලාශයන් රාශියක් මුදුන් පත් කර ගැනීමට අපේක්ෂිත අතර , මේ තොරතුරු ජනතාවගෙන් වසන් කරන්නට ගන්නා දේශද්‍රෝහි ව්‍යායාමයන් පිටුපස අධිරාජ්‍ය වාදී බලවේගයන් ක්‍රියාත්මක වෙමින් සිටිනා බව පමණක් ජනතාවට මතක් කර සිටින්නෙමු. නොබෝ දිනකින් ලෝක බලවතා වීමට නියමිත මහජන චීනයේ නව ජනපතිවරයාට උණුසුම් සුභාශිංශන එක්කිරීමටද මේ අවස්ථාවේදී අප විසින් අමතක  නොකල යුතු අතර එය  ඔවුන් විසින් අප වෙත ලබා දුන් අධිවේගි මාර්ග, පාලම් , වරාය, රඟහල්, ගුවන් තොටුපලවල් , බලාගාර, කුලුණු , චන්ද්‍රිකා ඇතුලු සියලු දැ වෙනුවන් කරන කෘතගුණ දැක්වීමකි !





සුපර් සික්ස් වරද්ද ගත්තේ කොතනද ?

මේ දවස් වල අන්තර්ජාලයේ කථා බහට ලක්වෙන්නේ  කර්ම චිත්‍රපටිය . සෙනසුරු මාරුව ගැනත් ප්‍රවීන බ්ලොග් කරු මාරයා විසින් කථා බහක් ආරම්භ කරල තිබුනා . ඒවා පැත්තකින් තියෙත්දි මීට මාස කිහිපයකට කලින් තිරගත වුනු සහ අන්තර් ජාලයේ  සාකච්ඡාවට බඳුන් වෙච්ච සුපර් සික්ස් චිත්‍රපටිය ගැනයි මේ කථා කරන්න සුදානම . අන්තර්ජාලයේ දැකපු සටහන් නිසාම සිනමා ශාලාවකට ගිහින් නැරඹීම වැලකුනත් ශ්‍රි ලාංකාවේ වැඩිම වියදමක් දරා නිපදවු චිත්‍රපටිය නිසා සුපර් සික්ස් ගැන කතිකාව සමස්ථ  ශ්‍රි ලාංකීය සිනමාව පිලිබඳව පොඩි විමසුමක් විදිහට දකින්න පුලුවන් කම තියෙයි.


සම්ප්‍රදාය 

සුපර් සිකිස් චිත්‍රපටයත් ,ශ්‍රි ලංකාවේ බොහොමයක් සිනමා නිර්මාණ විදිහට ඉන්දියානු සිනමා නිර්මාණ ශෛලි‍ය  අනුගමනය කරමින් තමයි නිර්මාණය වෙන්නේ. ගීත , නර්ථන සටන් , විහිලු ආදර ජවනිකා ආදී සියල්ල එක නිර්මාණයක අඩංගු වන "මසාල " වර්ගයේ කියල හඳුන්වන සිනමා නිර්මාණයක් ගණයට සුපර් සික්සුත් අයිති වෙනවා. මේ දක්වාත් ඉන්දියානු  සිනමාව තුල ඔය ආකෘතියේ සිනමා නිර්මාණ දකින්න තිබුනත් , මේ වෙනකොට බොලිවුඩ් සිනමා නිර්මාණ ඔය ආකෘතියෙන් බැහැරව වර්ගිකරණයන් එකකට හෝ කිහිපයකට අදාල වන නිර්මාණ පිලිබඳ අවධානය යොමු කරමින් ඉන්න බව දකින්න තියනවා . විශේෂයෙන්ම "තරු සාධකයේ" බලපැමකින් තොරව සාර්ථකත්වයට පත්වුන මැත කාලීන බොලිවුඩ් නිර්මාණ ඔය "මසාල" වට්ටෝරුවෙන් වෙනස් ආරක් අනුගමනය කරපු ඒවා. මම දකින විදිහට සුපර් සික්ස් අධ්‍යක්ෂක වරයා වරද්ද ගන්න පලවෙනි තැන මේ සම්ප්‍රදාය .  ඉන්දියානු සිනමාව වසර දහයකටත් එපිටදි සාර්ථකත්වයක් ලබපු සම්ප්‍රදායක් , හොලිවුඩ් චිත්‍රපට පවා සමගාමීව තිරගත වෙන වටපිටාවක ඉන්න නූතන ශ්‍රි ලාංකීය රසිකත්වය ආදාරයෙන් පිලිගනියි කියන උපකල්පනය .  කොහොම වුනත් මේ වට්ටෝරුව ඇතුලෙම වුනත් සුපර් සික්ස් අධ්‍යකෂක සිදුකරන බොහෝ වැරදි නිසා වට්ටෝරුව ඇතුලේම 70-90 කාලවලදි නිර්මාණය වුනු සිනමා පටයක් තරම්වත් රසයක් මතු කරන්න හැකිවෙලා තියනවාද කියන එක ප්‍රශ්නයක් !

කථාව සහ තිර රචනය
සුපර් සික්ස් අනුගමනය කරන සම්ප්‍රදායේ සිනමා නිර්මාණයකට ඉතාම වැදගත් කාරණාවක් වෙන්නේ සරල ,ප්‍රේක්ෂකයා ආකර්ෂනය කර ගැනීමට සමත් කථා මූලයක් තිබීම . සුපර් සික්ස් චිත්‍රපටය මේ කාරණයේදීත් බරපතල අසාර්ථක බාවයකට පත් වෙන්නේ එවැනි ප්‍රභල කථා මූලයක් පදනම් කරගන්නට නොහැකි වීමෙන් . ක්‍රිකට් තරඟාවලියක් පදනම් කරගෙන වුනත් සාර්ථක කථාවක් ගොඩ නගන්න පුලුවන් කම තිබුනත් සමාන්‍යයෙන්  හුදු විනෝදය උදෙසා කරන ටෙනිස් බෝල මැච් එකක ඒ සඳහා ඇති හැකියාව බොහොම අඩුයි වගේම , ඒතුලට වැදගත් කමක් ආරෝපණය කරන්නත් නිර්මාන කරුවා සමත් වෙලා නැ . චිත්‍රපටයේ හඳුන්වාදීමේ ගීතය සහ චරිත හඳුන්වාදීමේ ජවනිකාවෙන් පසුව එන චිත්‍රපටයේ සමස්ථයම  ඉතාම දුර්වල තිර රචනයක් සඳහා හොඳම උදාහරණයක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන්. කිසිම පිලිවෙලක් නොමැතිව එහෙන් මෙහෙන් ඇමිනු රූපරාමු හා සිදුවීම් තුලින් දුර්වල කථා මුලය තුල වුනත් චිත්‍රපටයට දෙන්න තිබුනු අලංකාරය සහ මුලින්ම නැති කර තිබෙන බවක් තමයි දකින්න තියෙන්නේ.


රංගනය

කලින් ඡෙදයේ සඳහන් කරපු දුර්වල තාවයන් තවත් තීව්‍ර වෙන්නේ ඉතාම පහල මට්ටමක තියන රංගනය හේතුවෙන්. ප්‍රධාන චරිත අතරින් පබෝධා හැරුණු විට අනෙක් කිසි කෙනෙක් තමන්ට  ලැබී ඇති ඉතාම පැතලි , සීමිත චරිතයට හෝ සාධාරණයක් ඉටු කරන බවක් දකින්න ලැබෙන්නේ නෑ . හේමාල් රණසිංහ විටක යම් මට්ටමක රංගන කෞෂ්‍යල‍යක් පෙන්නුවත් ඒක දිගින් දිගටම පවත්වාගන්න බවක් පේන්න නෑ . ප්‍රධාන චරිත අසාර්ථක වෙත්දි තමන්ට ලැබී ඇති වපසරිය තුල දුලිකා මාරපන, මහෙන්ද්‍ර පේරෙරා සහ සනත් ගුණතිලක වගේ අය දක්වන රංගනය කලින් කී ප්‍රධාන චරිත වල රංගනයේ තියන දුර්වලතාවන් වඩාත් ඉස්මතු කරන්නක් .


සටන්

චිත්‍රපටියේ අන්තර්ගත වන ප්‍රධාන සටන් ජවනිකාව චිත්‍රපටියේප්‍රධාන කථාවට තියන අදාලත්වය ගැන ප්‍රශ්නය කොහොම වුනත් ස් අනෙකුත් ලාංකීය සිනමා නිර්මාණ වලට සාපේක්ෂ එක් පියවරක් ඉදිරියට ගිහින් දකුණු ඉන්දියානු සිනමා ශෛලිය දක්වා ගිහින්  තියන බව දකින්න පුලුවන් . කොහොම වුනත් ඇතැම් බොලිවුඩ් සිනමා පටවලත් දකින්න තියන මේ ආකරයේ සටන් මට පෞද්ගලිකව නම් විසුලු සහගතයි !


ගිත හා නර්ථනය

ගීත හා නර්තනයන් කියන්නේ ඉන්දියානු සිනමාවේ අනෙන්‍යතාවය කිව්වොත් නිවැරදියි . ආරම්භයේ සිටම  ලාංකීය සිනමාවත් ඒ රටාවම අනුගමනය කල බව රහසක් නෙවෙයි . තුෂාරා හෝ රජ වැඩකාරයෝ  චිත්‍රපටි වලට වගේම  වගේම ආකාස කුසුම් , ගරිල්ලා මාකටින් වගේ චිත්‍රපට වලටත් ගීත එකතු වෙන්නෙ ඒ අනුව . මැත කාලීන සිංහල සිනමාවට සාපේක්ෂව සාර්ථකම නර්ථන ජවනිකා සුපර් සික්ස් හි අඩංගු වන බව  සටහන් කරන්න පුලුවන් . විශේෂයෙන්ම සමූහ නර්ථන ජවනිකා දෙක සැහෙන්න ප්‍රශ්ස්ථ මට්ටමක තියනවා කියන එක තමයි මගේ හැඟීම . නමුත් යුවල නර්ථනයන් ඇතුලත් ගීතමය ජවනිකා වලදී , යම් තාක් දුරට හොඳ මට්ටමේ රූප රාමු සහිතව වුනත් නියම රසයක් මතු නොවෙන්න කලින් සඳහන් කල රංගනයේ දුර්වල තාවයන් තදින්ම බලපාල තියනවා . ඊට අමතරව සංගීතයේ තියන ආකර්ෂනය මඳ වීම වගේම අලංකාර පසුබිම් භාවිතා කලත් සංගීතයට සහ නර්තනයට අනුව මුසුවීමේ ගැටලුත් දකින්න පුලුවන්. ඒ අනුව තමයි පහලින් තියන සුපර් සික්ස් චිත්‍රපටයේ ගීතමය ජවනිකා , ඊට යටින් තියන  ජවනිකා වලින් මවන රසය  මවන්නට අසමත් වෙන්නේ (වෙනස ඔබටම වටහා ගත හැකියි ).ඒවගේම ගීත හා නර්ථන ජවනිකා ප්‍රමාණය සහ අදාලත්වය වගේම , ඉන්දියානු රසිකත්වයේ සහ ශ්‍රි ලාංකීය රසිකත්වයේ වෙනසත් අධ්‍යක්ෂක වරයා විසින් හඳුනාගත යුතුව තිබු බව පැවසිය යුතුමයි

Super Six















වියදම් කලේ මොනවටද ??

සුපර් සික්ස් හැම අතින් පාහේ  අසාර්ථක නිර්මාණයක් බවට පත්වෙද්ති ඔය කියන තර්ම් වියදමක් ගියේ අහවල් එකකටද කියන එක සමහරක් දෙනෙකුට ප්‍රශ්නයක්.සුපර් සික්ස් හි වියදමට ප්‍රධානම සාධකයන් විදිහට මම දකින්නේ ගතික රූප රාමු වෙනුවෙන් වැයවුනු මුදල සහ විවිධ රූපගත කිරීම් ස්ථාන වෙනුවෙන් භාවිතා වුනු වියදම. හොලිවුඩ් හෝ බොලිවුඩ් නිර්මාණයකදි මූලිකාංග වුනත් ලංකාවේ සිනමා නිර්මාණ වලදි හොඳ ගතික රූපරාමු භාවිතා වෙන්නේ ඉතාම කලා තුරකින් . අදාල රූප ගත කිරීම් වලට අවශ්‍ය උපකරණ කුලියට ගැනීම සහ ප්‍රවාහනය ආදී දේ වෙනුවෙන් නිර්මාණ කරුවන්  උනන්දු වෙන්නේ ඉතාම කලාතුරකින් . චිත්‍රපට තබා ඇමරිකානු ටෙලි නිර්මාණ පවා රූපයේ ගුණාත්මක භාවය උදෙසා කරනු ලබන යොදාගැනීම් වලින්  තොරව , හැකිතාක් දුරට ස්ථිතික රූප රාමු වලින් පමණක් සිනමා නිර්මාණ  බිහි වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ ශ්‍රි ලංකාවේ සිනමා වෙලඳ පොල ඉතාම කුඩාම එකක් වීම .

සුපර් සික්සිහි මේ රූප රාමු භාවිතයත් , විවිධ රූගත කිරීමේ ස්ථානත් සියල්ලම පාදක වෙන්නේ මූලික වශයෙන්ම ගීතමය ජවනිකා වෙනුවෙන් , බොලිවුඩ් සිනමා නිර්මාණ ගීතමය ජවනිකා වෙනුවෙන් දරන ඉහල වැය , සුපර් සික්ස් අධ්‍යක්ෂකවරයා ඊට පොලඹවපු බව පෙන්න තිබුනත් , බොලිවුඩ් සිනමා රසිකයින්ගේ රසිකත්වය සහ රටවල් ගණනාවක පැතිරුණු  වෙලඳ පොලේ විශාලත්වයත් ශ්‍රි ලාංකීය රසිකත්වයේ ස්වාභාවය සහ වෙලඳ පොලේ ප්‍රමාණයත් අතර වෙනස අමතක කර දැමීමේ බරපතල වැරැද්ද ඔහු විසින් සිදුකර තිබෙන බව කිය යුතුයි .ඊට අමතරව අධ්‍යක්ෂක වරයා පවසන පරිදි භාවිතා කරන ලද කැමරාව කාචයන් සහ සිනමා පටයටත් , දකුණු ඉන්දියාවේ රසායනාගාර වෙනුවට බොලිවුඩයේ රසායනාගාර පසු නිෂ්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කිරීමත් වියදම් ඉහල දැමීමට හේතුවක් වෙන්න පුලුවන්. මේ දේවල් චිත්‍රපටයක රසවින්දන මට්ටම ඉහල දන්න හේතුවුනත් , මේවායේ බලපැම රදාපවතින්නේ සිනමානිර්මාණයේ අනෙකුත් මූලිකාංග වල සාර්ථකත්වය මත පමණක් බවත් අධ්‍යක්ෂක වරයා විසින් අමතක කර තිබෙන බවක්  සිනමා රසිකයෙකු වශයෙන් නීරික්ෂනය කරන්න පුලුවන්

මේ  ආකාරයෙන් බැලුවාම සුපර් සික්ස් වරද්දා නොගත්තේ කොතනදැයි යන්න වඩාත්ම සාධාරණ පැණය බවත් , ශ්‍රි ලංකාවේ මේ දක්වා සිනමා නිර්මාණයක් වෙනුවෙන් කල ඉහලම වියදම පූර්ණ වශයෙන් නාස්තියක් පමණක් බවත් කියන්න පුලුවන්


ඉස්ලාමයේ 9:5 - මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය - ඉස්ලාමිකයෙකුගේ ලිපියකට පිලිතුරක්


ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් වැලඳගත් ආගමේ කොතනක හෝ සටහන් වූ පමණින් ඕනැම ටොම් පචයක්  හිස් මුදුනින් පිලිගන්නා  පුද්ගලයින් අතර සිදුවන විට එක් මතයකට පැමිණ වාදයක් අවසන් වීමේ හැකියාවක්ද පවතින්නේද නැත . මැවුම් වාදය පිලිගන්නා වුන්  කිසි විටකත් මැවුම් කරු මැව්වේ මොකාදැයි නොඅසන්නා සේම හින්දුන්ට පියඹන වඳුරන් ඇතුලු සිය දේව සභාව තාර්කිකවන අතර බෞද්ධ "ආගමිකයින්ට" ජාතක කථා වලටද තාර්කික පැහැදිලි කිරීම් දිය හැක .

තත්වය එසේ තිබියදීත් ඉස්ලාම් අන්තවාදීන් අතින් වෙඩි පහරට ලක්වුනු පකිස්ථාන දැරිය පිලිබඳ රාජ් සහෝදරයා විසින් ලියවුනු ලිපියේ මතුවූ සංවාදයක් මඳක් ඉදිරියට රැගෙන යැමේ අවස්ථාවක් පැමිණ ඇත . මෙය කිසිදු ආගමික දෘශ්ටිකය සිට නොව නිර්-ආගමිකව , මානූශීය  කෝණයෙන් සංවාදයට ලක් කල හැක්කක් බවද සඳහන් කල යුතුය .


ලොව පවතින ත්‍රස්තවාදී සංවිධාන අතුරින් සාතිශය බහුතරයක් මුස්ලිම්   ජාතිකයන් ඉස්ලාම් ධර්මයේ නාමයෙන් පවත්වාගෙන  යන්නන් වන බව පහත විකි පිඩියා ලිපියේ අන්තර්ගත තොරතුරු හරහා වටහා ගත හැක ,

http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

එමෙන්ම නබි වරයාට අපහාස කෙරෙනවා යැයි කියවෙන චිත්‍රපටය පිලිබඳ මුස්ලිම් වරුන් දැක්වූ ප්‍රතිචාරය අති බිහුසුණු හා විනාශ කාරීය වන අතර එය ආගමික ශාස්තෘවරයෙක් පාදක කරගත් ආන්දෝලනාත්මක එකම හෝ ප්‍රථම විඩියෝ නොවන පසුබිමක මින් පෙර ලෝකයා නොදුටු තරම් ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් වීමද සුවිශේෂීය . මෙම කාරණාට් මුස්ලිම් ජාතිකයින් බහුතරය වන බොහෝ රටවල සිදුවන්නා වූ ප්‍රචණ්ඩ ක්‍රියාත් සැලකිල්ලට ගත් විට මුස්ලිම් වරුන් ගේ ප්‍රචණ්ඩත්වය ඔවුනගේ ආගමික පසුබිම හා අතර ඇති සම්බන්ධයක් පිලිබඳ සැක පල කිරීම තාර්කිකය . එහිදී පහත සඳහන් කුරාන් පාඨය වඩාත්ම ආන්දෝලනයකට තුඩු දුන් එකක්  ලෙස සැලකීමේ වරදක් නොමැත

"තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය"

අන් කිසිදු දහමක  දක්නට නොලැබෙන , ශිෂ්ටාචාරි කිසිදු මනුෂ්‍යයෙකු හෝ සමාජයක් විසින් අනුමත නොකරන මනුෂ්‍ය ඝාතනයන් ඉහත වාක්‍ය හරහා අනුමත කර ඇති බැව් ඉතා පැහැදිලිව දැක ගන්නට ඇත . මේ වාක්‍යයේ අන්තර්ගතය පිලිබඳ නොයෙකුත් සාධාරණය කිරීම් ඉස්ලාම් ආගමිකයින් විසින් සිදු කරනා අතර ශ්‍රි ලංකාවේ පැවැති ඊලාම් යුද්ධයද සම්බන්ධ කරගමින් විස්තරාත්මක විග්‍රහයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලකර ඇත . එහිදී ඉහත වාක්‍යය සාධාරණී කරනය කිරිමේ ලා ඔවුන් විසින් ගෙන එනු ලබන තර්කයන් පිලිබඳ විමසුමක යෙදීම මේ  කලින් කී සංවාදයේ දිගුවක් ලෙසින්  ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි .
--------------------------------------------------------------------------------------------------

ලියුම් කරුගේ මූලික පදනම වන්නේ ශ්‍රි ලංකාවේ පැවැති සිවුවෙනි ඊලාම් යුද්ධය හා අදාල වාක්‍යයේ පසුබිම් කථාව එකිනෙක සංසන්ධනය කිරීමය , නමුත් මෙහිදී මතුවන මූලික විරෝධතාවයන් දෙකක් ඇත

01) කුමන ආකාරයේ යුද්ධයක් කුමන හේතුවක් මත හෝ සාධාරණී කරණය කල නොහැක . යුද්ධයකදී මිය යන සියලු දෙනා මනුෂ්‍යයින් වන අතර , එක් පිරිසක් විසින් තව පිරිසක් ඝාතනය කිරීම ලෝකයේ කුමන තැනක කුමන හේතුවක් අරඹයා සිදු කලත් මිනිස් ජාතිය වශයෙන් අභිමානයට පත්විය හැකි හෝ අනුමත කල හැකි කාරණයක් නොවේ

02) යුද්ධයන් ඇතිවීම දේශපාලනිකය , ප්‍රභාකරන්ගේ සටන දේශපාලනික එකක් වන්නා සේම , ජනපතිවරයා ආරක්ෂක ලේකම් වරයා සහ හමුදාපතිවරුන්ගේ ප්‍රතිචාරයද දේශපාලනිකය . මොවුන් ඉතා සාමාන්‍ය මිනිසුන් වන අතර ,  සර්ව බලධාරින් කෙනෙකුගේ නියෝජිතයින් හෝ මිනිසුන් සමුහයක් තමන්ගේ අනුගාමිකයින් කොට ගෙන අලුතින් දහමක් හඳුන්වාදෙන්නන්ද නොවේ 



මීලඟට ලියුම් කරු යුද සමය තුල රට තුල පැවැති තත්වය පිලිබඳ විග්‍රහයක නිරත වේ,  ඉන් ඇතැම් කාරණා යුද්ධයක් තීරණය වූ පසුබිමක පොදු ලක්ෂනයන් වන අතර යුධ සමයේ මෙරට සිදුවූ ඇතැම් සිදුවීම් භාහිර සමාජය විසින් ප්‍රශ්න කරමින් සිටිනා බැව්ද අමතක නොකල යුතුය .

 මින් පසු  නබි වරයාට අනෙන් මිනිසුන්ගෙන් සිදුවූ නා නා ප්‍රකාර හිරි හැර පිලිබඳ විග්‍රහයක යෙදෙනා අතර ඉහත කී වාක්‍ය කුරානයට එකතු වීම පිලිබඳ මෙසේ පවසයි

//එලෙසින්ම ඉස්ලාම් ආගමේ විධායකය වූ අල්ලාහ්තාලා මුස්ලිම්වරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ අල් කුරාණය මගින් ඉස්ලාම් ආගම විනාශ කරන්නට සේනා සංවිධානය වුවන්ට එරෙහිව අල් කුරාන් වාක්‍ය පහළ කොට මුහම්මද් නබි තුමාණන් සහ එතුමන්ගේ අනුගාමිකයන් බල ගැන්වීය. ඉස්ලාම් ආගමට එරෙහි වුවන් අල්ලාහ්ට සමානයන් තබන්නවුන් ලෙසින් නම් කරනු ලැබීය.//

මෙහිදී පැන නගිනා මූලික ප්‍රශ්නයක් ඇත .

"ඉස්ලාම් ආගමිකයින්ට අනුව මිනිසා ඇතුලු සමස්ථ  විශ්වයම අල්ලාහ් ගේ නිමැවුම්ය , එසේ නම් අල්ලාහ් ගේ දහම ප්‍රචාරය  කරවමින් සිටි නබි වරයාට දරුණු ලෙස හිංසා  පමණුවන්නේද අල්ලාහ් ගේ නිර්මාණයන් විසිනි. තමන්ගේ නිමැවුම් දෙකක් මෙලෙසින් ගැටෙන්නට ඉඩ හැර අල්ලාහ් විසින් බලා සිටින්නේ ඇයි ? "

"එලෙසින් ඇතිවුනු ගැටුම වලකා ලන්නට අල්ලාහ් සතුවූ හොඳම විසඳුම , මිනිස් ඝාතනයන්ට අනුබල දීමද ? ගැටුම සමථයකට පත් කරන්නට ඔහුට මැදිහත් වීමට නොහැකි වූයේ ඇයි ?


මින් ඉදිරියටද ලියුම් කරු ගෙන යන්නේ ශ්‍රි ලංකාවේ පැවැති යුද්ධය සමඟින් ඉහත වාක්‍ය සංසන්දනය කිරීමය . නමුත්  සිවුවන ඊලාම් යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනපති වරයාත් , නබි වරයා හෝ අදාල වාක්‍යය කුරානයට ඇතුල් කල අල්ලාහ් ත් යනු එකම  බලතල සහිත එකම ප්‍රමාණයේ ගෞරවක් ලබනා පුද්ගලයින් දැයි යන මූලික  තර්කය මත අදාල පැහැදිලි කිරීම් පිලිබඳ වැඩි දුර කථා කිරීමෙන් පලක් නොමැත .

කුරානයේ 9:6 වාක්‍යය ඉස්මතු කරමින් ලේඛකයා මෙලෙසින් පවසා ඇත

(නබිවරය!) සමානයන් තබා අදහනවුන්ගේ කවුරුන් හෝ ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව, ඔහුට  ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (අල් කුරාණය 9: 6)


දැන් ඔබට වැටහෙනවා ඇත. සමානයන් තබා අදහන්නවුන්ගෙනුත් ඉස්ලාමයට එරෙහිව යුද වැදුනු අයට පමණක් අල් කුරාණයේ 9: 5 වාක්‍ය අදාල වන බව. මේ සඳහාත් උදාහරණ දක්වන්නම්. සියළු ත්‍රස්තවාදීන් දෙමළ වුවත්  සියළු දෙමළ ජාතිකයන් ත්‍රස්තවාදීන් නොවේ. බුද්ධිමත්ව සංසන්දනය කරන්න 

මෙහිදි ලෙඛකයා විසින් වරහන් තුල යොදා ඇති අර්ථ ගැන්වුම සහ පහත දැක්වෙන ඉංග්‍රිසි පරිවර්ථනය අතර ඉතා පැහැදිලි වෙනසක් තිබෙන බව නිරික්ෂණය කල හැක .

And if any one of the polytheists seeks your protection, then grant him protection so that he may hear the words of Allah . ->Then deliver him to his place of safety. That is because they are a people who do not know.

 මොහොතට ඔහුගේ අර්ථ ගැන්වීම නිවැරදියැයි උපකල්පනය කරමු


ඔහුගේම අර්ථ දැක්වීම් අනුව 9:5 වාක්‍ය අවසන් වන්නේ
 //ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු// ලෙසිනි , එනම් යුධ වැදි සිටින්නන් ඉස්ලාම් දහම විශ්වාසයට ගන්නේ නම් ඔවුන්ව නිදහස් කරන ලෙසිනි , 9:6 ට ඔහු දෙන විග්‍රහයන්ට අනුව එම යුධ වැදී සිටින්නෙක් , ඉස්ලාමිකයින්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටිය හොත් පලමුව් ඔහුට ඉස්ලාම් වැලඳ ගැනීමට අවකාශය ලැබේ , එයට අකමැති නම් ඔහුව ඔහු කැමති දෙයක් ඇදහීමට කියා නිදහස් කිරිමේ හැකියාවද ඇත . මේ  අර්ථ දැක්වීම් දෙක තුල පරස්පරතාවයක් දකින්නට ඇත . යුධ වැදී සිටින්නන් පිලිබඳ  තීරණයක් ගැනීමට ඉස්ලාමිකයින්ට අවකාශයක් ලැබෙන්නේ ඔවුන් යටත් කරගත් අවස්ථාවකදී පමණය . මෙය සමස්ථ කණ්ඩායමම හෝ එක් පුද්ගලයෙක් යටත් කරගත් අවස්ථාවක් විය හැක . පලවෙනි වාක්‍යයට අනුව යටත් වන්නාට ඇත්තේ විකල්ප එකක් පමණි , නමුත් දෙවැන්න අනුව ඔහුට විකල්පයන් දෙකක් ඇත .

මෙය පහත ආකාරයෙන්ද විස්තර කල හැක , එනම් පලමු වැන්න අදාල වන්නේ පහරදී යටත් කරගත් අයට ය , දෙවැන්න කැමැත්තෙන් බාර වන්නන් හටය . එවිට වාක්‍ය  දෙකේ තේරුම් වලට තාර්කික පැහැදිලි කිරීමක් ඇත , නමුත්  අල්ලා විසින් අවස්ථා දෙකකදී දේයාකාරයකින් කටයුතු කිරීමට කියන්නේ මන්ද යැයි පැහැදිලි නැත . පලමු වාක්‍යයේ සඳහන් පරිද්දෙන් අල්ලාහ් කාරුණික්  සහ සමාව දෙන්නෙක් නම්  කැමැත්තෙන් යටත් වන පිරිසට ලබා දෙන සහනයම යුද්ධයෙන් යටත් කරගන්නා අයට නොදී සිටින්නේ ඇයි ?

 කෙසේ වුවත් අදාල වාක්‍යයන් හි ඉංග්‍රිසි විවරණයන්ට අනුව එසේ කිසිදු ප්‍රතිවිරෝධයක් නොමැති බවත් , ඉතිරි වන එකම විකල්පය ඉස්ලාමයට පැමිණීම බව නිරීක්ෂනය කල හැක


අනෙක් අතින් ලේඛකයා විසින් දෙන අර්ථ ගැන්වීම් අනුව මෙය ඊලාම් යුද්ධය සම්බන්ධ කිරිමේද තාර්කික ගැටලුවක් ඇත . ඊලාම් යුද්ධයේදී යටත් වන සටන් කරුවන්ට තමන්ගේ මතවාදයන් ඉවත් කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැත . ඔහු තම ඊලම් මතවාදය අත්හැරියත් නැතත්, කැමැත්තෙන් යටත් වුවත්  අතඩංගුවට ගත්තත් ජාත්‍යන්තර නිතින්ට අනුකුලව ඔවුන් වෙනුවෙන් ගන්නා මූලික ක්‍රියාමාර්ගයන් එක සමානය (ශ්‍රි ලංකාවට චෝදනා එල්ල වී ඇත්තේ එසේ නොකලාය යන පදනම මත සිටය ) , ජාත්‍යන්තර යුධ නිතීන්ට අනුව යුධ සිරකරුවන්ගේ ආගම, ජාතිය , භාෂාව  වෙනස් කිරීමේ කිසිදු හැකියාවක් අතඩංගුවට  ගන්නා පාර්ශවයට නොමැත. 

අවසන් වශයෙන් ලියුම් කරු
//එක් අවස්ථාවක් පාදක කරගෙන පහළ වූ අල් කුරාන් වාක්‍යයක් දෙස අන්තවාදීව අවධානය යොමු කරමින් සමාජය නොමග යැවූ ඒ තීරශ්චීන වාදීන්ගේ ප්‍රෝඩාව දැන්වත් අවබෝධ කරගන්න. අල් කුරාණය යනු එක් කාල සීමාවකට පමණක් පහළ වූ ආගමක් නොවේ. එය සියළු කාලයන් ආවරණය කරයි.// යනුවෙන් සටහනක් එක් කර ඇත . මේ තුලද පෙර පරිදිම ප්‍රතිවිරුද්ධාර්ථයන් ගැබ්ව ඇත . ඔහු පලමුවෙන් පවසනා පරිදි අදාල වැකිය එක් සිදුවීමක් අරඹයා පැන නැගුනකි , එනම් වර්ථමානයට අදාල වන්නේ නැත , නමුත් ඔහුම  ඊලඟට පවසන්නේ කුරානය සර්ව කාලීන බවයි. මින් නිවැරදි කුමක්ද ?  අදාල සිදුවීම කෙරේ පමණක් සැල්කීමෙදී 9:5 නම් වගන්තියේ බරපතල හානියක් අප දකින්නේ නැත  මන්ද සමකාලීනව පමණක් නොව ඉන්පසු සියවස් කිහිපයක් දක්වාම මිනිස් වර්ගයන් අතර ගැටුම් ඉතා  අශ්ශීල ස්වාභාවයක් ගත් නිසාවෙනි .නමුත් රජවරුන්, අධිරාජ්‍යන් හා ඇතැම් පූජක වරුන් විසින් කෙරුණු අනෙකුත් යුධ ගැටුම් ආගමක සමාරම්භකයෙකු විසින් , ඔවුන් විසින් අදහනු ලබන දෙවියන්ගෙ නාමයෙන් සිදු කලායැයි පවසන්නේ නම් ඔවුන් කොතෙක් දුරට පූජාවට සුදුසු වන්නේදැයි සිතා බැලිය යුතුය .

 අනෙක් අතින් කුරානය සර්ව කාලින නම් එහි අන්තර්ගත 9:5  වර්ථමානයටත් අදාලය , මානව අයිතිවාසි කම් සහ හිමිකම් ඉතා පැහැදිලිව නිර්වචනය වී ඇති වර්ථමානයට  සාපේක්ෂව ඉහත වාක්‍යය යනු නියත වශයෙන්ම මනුෂ්‍යත්වයට නිගාවක් ලෙස සැලකිය හැක . ඒය සාධාරණී කරණය කරන්නට යොදා ගන්නා 9:6ද සිටින්නේ වර්ථමාන මානව හිමිකම් රාමුවට සැහෙන පිටුපසිනි . එනම් වර්ථමාන  මිනිස් සමාජයට නොගැලපෙන චර්යාවන් ඉස්ලාමය විසින් දිරි ගන්වනවා යන්න තහවුරු කරන්නකි .  කුරානය සර්ව කාලීන යැයි කියමින් එහි ඇති ඇතැම් වාක්‍ය පමනක් අතීතයට භාර දීමට හැකියාව්ක් නොමැතිබව අදාල තර්කය ගොඩ නගන්නන් විසින් වටහා ගත යුතුය . වඩාත්ම බරපතල ප්‍රශ්නය  වන්නේ කුරානයේ සර්ව කාලීන බාවයත් සමඟ "ඉස්ලාමයට එරෙහි යුධ වදින්නා" යන්න ඕනැම ආකාරයකට විග්‍රහ කර ගත හැකි වීමය .  (ඉස්ලාම් ආගමට එරෙහි  බලවේග යැයි කියමින් කුඩා දරුවන් පවා බිල්ලට ගන්නේ එවැනි බරපතල අර්ථ දැක්වීමක සිටිනා කණ්ඩායම් ය )




මෙහිදී අදාල ලේඛකයා විසින් ඉදිරිපත් කර ඇති අතීත කථාව අභියෝගයට ලක් කර නොමැති අතර , ඉස්ලාමය අනෙකුත් ආගමිකයින් කෙරේ ප්‍රචණ්ඩත්වය මුදා හරින්නාවු බවට සාධක වන පහත ආකාරයේ කුරාන් වැකිද සැලකිල්ලට භාජනය කර නැත .
3.151 //We will cast terror into the hearts of those who disbelieve for what they have associated with Allah of which He had not sent down [any] authority. And their refuge will be the Fire, and wretched is the residence of the wrongdoers.//

ලියුම් කරු එක් තැනක

//මගේ ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට සේනා සංවිධානය වෙද්දී සාමයේ මාවත යයි කියමින් ඔබත් මමත් බලාගෙන සිටියාද? එසේ බලා සිටියා නම් ඔබත් මමත් නිවටයෝ නේද? එසේ නම් සාමකාමිව ප්‍රචාරය කළ ආගමට එරෙහිව සේනා සංවිධානය වෙද්දී ඒ ශාස්තෘන් කළ යුත්තේ බලාගෙන සිටීමද?//

යනුවෙන් සටහන් කර ඇත . ප්‍රචණ්ඩත්වය සිය ආගම තුලින්ම හදවත තුලට කිඳ බැසගත් පුද්ගලයෙකුට ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳුම් සෙවීමේ මගක් නොපෙනුනා විය හැක නමුත් තමන්ට එරෙහිව නැගුණු බලවේග වෙනුවෙන් අනෙකුත් ආගමික ශාස්තෘවරුන් කල කී දෑ මෙන්ම , මහත්මා ගාන්ධි තුමන් සහ මාටින් ලුතර් කිං වැනි ජන නායකයින් අවිහිංසාවාදය තුලින් ඉතා ප්‍රභල ජන අරගල දිගු කාලීන ජයග්‍රහණයන් වෙනුවෙන් මෙහෙය වූ ආකාරය විමසා බලා අවිහිංසාව යනු නිවට කම නොවනා බව වටහා ගන්නේම යහපත් බැව්ද අවධාරණය කල යුතුය 









Related Posts Plugin for WordPress, Blogger...
Back to Top