Skip to main content

ඒකාබද්ධ හෙවත් පොදු නොහොත් කැඩි බිඳි ගිය විපක්ෂය

පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනා ඕනැම රටක විපක්ෂය යනු මහජන ඡන්දයෙන් පත්ව ආණ්ඩුබලය පිහිටුවීමට නොහැකී පිරිසය . විපක්ෂය රටේ සැලකිය යුතු ජන ප්‍රමාණයක මතවාදය නියෝජනය කරන්නාක් මෙන්ම  පාලන බලය හොබවන්නන්ගෙ ප්‍රතිපත්ති වලට විකල්ප මතවාදයක් ගොඩ නඟන්නන්ද වන අතර  රජය විසින් ගෙන එනු ලබන පනත් කෙටුම් පත් වලට විවිධාකාරයේ සංශෝධන යෝජනා කරන්නන් මෙන්ම අවැසි විවේචනයන් සිදු කරන්නන්ද වේ . නිදහස  ලැබුදා පටන් ශ්‍රි ලංකාවද පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ  ක්‍රියාත්මක වූ රටකි . ලාංකීය ජනතාව යම් පක්ෂයක් බලයට පත් කරනා විට අනෙක් පක්ෂයට නැත්තටම නැති වෙන්න දෙන නිසා රටේ විපක්ෂය 1/6 ක් වැනි සුලුතරයකට පහල බැසි අවස්ථාද , එහිත් බහුතරය රටේ එක්තරා ප්‍රදේශයක්   පමණක් නියෝජනය කරන පක්ෂයකට හිමිවිමේ අවධානම ජේ. ආර් විසින් දුටු නිසා වර්ථමානයේ සම්බන්ධන් වෙනුවට ජේ.ආර්ගේ බැනාට විපක්ෂනායක ධුරය දැරීමේ වාසනාව හිමිවී ඇත . ආසන වශයෙන් පරාජයට පත්වුවත් ලක්ෂ ගණනක ජනතාවකගේ ඡන්දයට සරිලන නියෝජනයක් පාර්ලිමෙන්තුව තුල ලැබුනද , ඒ සමඟම ගෙන ආ විධායක ජනපති ධූරයෙන් විපක්ෂ නායක වරයාගේ කාර්ය පමණක් නොව අගමැති වරයා ඇතුලු සමස්ථ පාර්ලිමෙන්තුවේ කාර්යභාරයම දෙකේ කොලයට දමන්නටත් කටයුතු යෙදුනු බව පැහැදිලිය .එය සාම්ප්‍රදායික විපක්ෂයකට වඩා ප්‍රභල අභියෝග විපක්ෂයකට එල්ල කරන්නක් වන අතර  මේ  එහි ප්‍රතිවිපාකයන්හි උච්ඡතම අවස්ථාව යැයි හැඳින්වීමේද වරදක් නොමැත .

වත්මන් රජය එකිනෙක පරස්පර මත දැරූ (තවමත් ඉඳහිට පැරණි මතාවද සිහිපත් කරන ) පක්ෂ හා කණ්ඩායම් ගණනාවකින් සැදි තිබියදි , විපක්ෂය  පක්ෂ තුනකට සිමා වී ඇත . එයින් ජනතා විමුක්ති පෙරමුණ සිය  ඉතිහාසයේ දැවැන්තම සෝදා පාලුවට ලක්ව   පියවරක් පාසා වලපල්ලට ගමන් කරමින් සිටී, කලක ශ්‍රි ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය වූ එජාපය තමන්ගේ ඡන්ද පදනමෙන් සැහෙන පහල මට්ටමකදී ස්ථාවර වෙමින් පවතී . ඒ අනුව බැලු කල තමන්ගේ ආවේණික ඡන්ද පදනම ස්ථාවර තබා ගනිමින් සිටිනා දෙමල ජාතික සංධානය විපක්ෂයේ සාර්ථකම දේශපාලන බලවේගය ලෙස හැඳින්වීමේ වරදක් නොමැත . එජාපය හා ජනතා විමුක්ති පෙරමුණ(න්‍යායිකව ) රාජ්‍ය බලය අරමුණු කරගනිත්දී දෙමල සංධානය  විවිධ පාලන ඒකකයන් තුල තම නියෝජනය තීරණාත්ම සාධකයක් බවට පත් කර ගැනීම අරමුණු කොට ගෙන සිටී . එජාපයේ හා ජවිපේ දේශපාලනයේ මුඛ්‍ය අරමුණ වත්මන් රජය පෙරලීම වත්දී , දෙමල සංධානයේ ජනප්‍රිය දේශපාලනයටද වත්මන් රජය පෙරලීම අත්‍යාවශ්‍ය සාධකයකි . එනම් විපක්ෂයේ සියලු බලවේග වල අරමුණු සමපාතය .

දේශපාලනික අරමුණු  සමපාත වුවත් එකිනෙකට වෙනස් දේශපාලනික අන්ත දෙකක ගමන් ගන්නා එජාපයට හා ජවිපයට මෙන්ම , ජවිපය මැත ඉතිහාසයේ රට තුල ගෙන ගිය  මතවාදයන්ට අනුව  ඔවුනට හා දෙමල සංධානයට එක්වීමේ හැකියාවක්ද නොමැත . මේ විරසකයන් පසෙකලා ඔවුන් එක්ව සැදු එකම සංධානයද අතිශයින්ම අසාර්ථක එකක් වූ අතර ඔවුන් එක්ව කරලියට ගෙන ආ ජනපති අපේක්ෂයා 2005දී එජාපයේ පමණක් අපේක්ෂකයා වශයෙන් රනිල් ලබාගත් ඡන්ද ප්‍රමාණයට හෝ හිමිකම් කියන්නේ නැත . උක්ත ජනපතිවරණය වත්මන් ජනපති වරයාගේ ජනප්‍රියත්වයේ උපරිමයේදී  ලබාගත් ජයග්‍රහණයක් ලෙස හඳුනා ගත හැකිවාක් මෙන්ම මේ දක්වාත් ඔහුගේ ජනප්‍රියත්වය බරපතල හානියකට ලක්ව ඇතැයි පැවසිය නොහැක . එක් අතකින් සාමාන්‍ය ජනතාවට ගෝචර රජයේ නා ගැනීම් අධිරාජ්‍ය වාදි කුමන්ත්‍රණ හෝ ඇමතිවරුන්ගේ සහ නිලධාරින්ගේ ගිණුමට බැර වෙත්දී රජයේ සමස්ථ දේශපාලන ගමන් මග බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් වලට බොහෝ සෙයින් අනුකූලය. එනිසා බාහිර ලෝකයාට සාපේක්ෂව රටේ දිශානතිය කුමක් වුවත් ඡන්ද දායකයාට සාපේක්ෂව  රජයේ ආර්ථික , සමාජීය , සංස්කෘතික ගමන් මාර්ගය නිවැරදිය .

මේ පසුබිම තුල ජනපතිවරයාගේ ජනප්‍රියතාවය නොසැලෙමින් පැවතීම විපක්ෂයේ දේශපාලන වල අභියෝගය තව දුරටත් ඉහල දැමීමට  සමත්ව ඇත . තනිව රාජපක්ෂ ජනපතිවයා සමඟින් ගැටිය නොහැකි යන පසුගිය ජනපතිවරණයේ උපකල්පනයන් සමඟින් විපක්ෂය නැවතත් පොදු බලවේගයක් ගොඩ නැගීම කෙරේ උනන්දු වන බවක් දක්නට ඇත . එහිදී  "ඒකාබද්ධ විපක්ෂය " නමින් එජාපයේ මූලිකත්වයෙන් ගොඩ නැගු සංවිධානය තුල ඔවුනුත් දෙමල සංධානයත් හැරුණු විට සිටින්නෙ ජනපතිවරණයේ සිට සියලු මැතිවරණ  තරඟ කර යන්තම් නාගරික මන්ත්‍රිකමකින් සැනසුන වික්‍රමබාහු වැනි චරිතත් මුලු පක්ෂයම බස් එකක හෝ ඇතැම් විට ත්‍රීරෝද රථයක ගෙන යා හැකි පක්ෂත් පමණි . නොපැහෙන දීගයකින් තව දුරටත් තම ඡන්ද පදනම දෙදෙරා යාමේ අවදානම නිසාදෝ ජවිපය මෙම එකමුතුවේ නොමැත . නාමිකව පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් සිටියත් ඒකාබද්ධ විපක්ෂය නැමැති සංධානය රජයේ ඡන්ද පදනම කෙරේ කිසිදු බලපැමක් කිරීමේ හැකියාවකින් තොරය . පොදු ජන විඥ්ඤානයට අනුව දේශ ද්‍රෝහින් වූ වික්‍රමබාහු සහ දෙමල සංධානය සමඟින් එජාපයේ දේශද්‍රෝහී ලෙබල් වැදුනු  ජයලත් වැන්නන් එක වේදිකාව දැකීම සැබවින්ම රජය තව දුරටත් ශක්තිමත් කරන්නක්  ලෙසද සැලකිය හැක .

ලද ජනපති සමාවෙන් පසු දේශපාලනික වශයෙන් සැහෙන තරම් නිහඬ පිලිවෙතක් අනුගමනය කල , විශේෂයෙන්ම පසුගිය මැතිවරන සමයේ පුර්ණ වශයෙන් මුනිවත රැකි ෆොන්සේකා මහතාද විපක්ෂ බලවේග එක් කිරීමේ කාර්යයට අතගසා ඇත .  සියලු විපක්ෂ බලවේග වල පොදු අපේක්ෂකයා වශයෙන් දේශපාලනයට පිවිසියත් මෙවර ඔහුගේ ව්‍යායමය තුල පෙර ඔහු සමඟ සිටි දේශපාලන බලවේග කිසිවක් දක්නට නොමැත එජාපය හා දෙමල සංධානය පමණක් නොව  එකට පාර්ලිමේන්තුවට තරඟ කල ජනතා විමුක්ති පෙරමුනද 18 වෙනිදා ඇරඹීමට නියමිත අදාල එකමුතුව තුල නොමැත . ඒකාබද්ධ විපක්ෂයේ මෙන් ත්‍රිවිල් පක්ෂ හා කණ්ඩායමුත් එජාපයේ  පාර්ලිමෙන්තු හා පලාත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගේ එකතුවක් ලෙසින් දැකිය හැකි මෙහි එජාපය තුල විප්ලව කාරි ජනප්‍රිය මන්ත්‍රිවරුන් හෝ දක්නට ලැබේවි යැයි දැනට වාර්ථා වී ඇති තොරතුරු අනුව දැනගන්නට නැත .

නාමික වශයෙන් "ඒකාබද්ධ " හෝ රජයට එරෙහි "එකමුතු" විපක්ෂ බලවේගයක් ගොඩ නගන්නට තැත්කලත් සැබැවින්ම වර්ථමාන ශ්‍රි ලාංකීය විපක්ෂ බලවේගයන් සිටිනුයේ අන් කවරදාකටත් වඩා බිඳී විසිරි ගිය දුර්වල  තැනකය . එය  විපක්ෂ මන්ත්‍රි නියෝජනය ඉතාම අවම වූ ආසන මන්ත්‍රි ක්‍රමය තුලදී දක්නට තිබුනාටත් වඩා කණගාටුදායක තත්වයකය . වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ගොඩ නැඟී ඇති ඒකා බද්ධ විපක්ෂයට එජපය තුල සැහෙන ජනප්‍රියතාවයක් ඇති සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකවරයාගේ හෝ  ඔහුට හිතවත් මන්ත්‍රිවරුන්ගේ දායකත්වයක් ලැබෙන්නේ නැත .එජාපය තුල සිටිනා ජනප්‍රිය නායකයන් එසේ ඉවත් වෙත්දී ඒකාබද්ධ විපක්ෂය යනු බහුතර ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ (එම අප්‍රසාදයන් සාධාරණද අසාධාරණද යන්න වෙනම කතිකාවකි )  පුද්ගලයින් කිහිපදෙනෙක් පිරිවරාගෙන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය වෙත වොයිස් කට් දීමක් පමණක් බවට පත්වී ඇත . රටේ  විපක්ෂය නියෝජනය කරන කිසිදු ප්‍රධාන දේශපාලන බලවේගයක සහය නොමැතිව ෆොන්සේකා මහතා ගොඩ නගන්නට යන එකමුතුව අර්බුධ මැද්දේ සිටිනා එජාපය තවත් කැබැලි වලට කැඩීමේ වැයමක් පමණක් බවට පත්වී ඇත . ත්‍රිවිල් පක්ෂ, පුද්ගල චරිත කිහිපයක් සමඟින් ආසාර්ථක එකමුතු  ගොඩ නගමින් සිටිනා විපක්ෂ කණ්ඩායම් සිහිතබා ගත යුතු වැදගත්ම කාරණය නම් එකතු වීම සිදුවිය යුත්තේ එජාප නායකත්වය සහ නියෝජ්‍ය නායකත්වයත් ෆොන්සේකා මහතාත් අතර බවය . ඒ හැර වෙන් වෙන්ම එකිනෙකා  ගොඩ නගන නාමික  විපක්ෂ එකමුතු වලින් රාජපක්ෂ ජනපතිවරයාට අබමල් රේනුවක හෝ බලපැමක් සිදුකල නොහැකි අතර විධායක ජනපතිවරයෙක් සහිත පාර්ලිමෙන්තු ක්‍රමයක විපක්ෂයක් හමුවේ ඇති බරපතලතම අභියෝගය වන පැවැත්මේ අභියෝග ය හෝ  ජයගත නොහැක

Comments

  1. සියල්ලටම එකඟයි. නමුත් බුවා මේ පාර පලා බබා එකේ සමස්ත ඡන්ද ප්‍රකාෂ කිරීම ඉතාම ඩු මට්ටමක තිබිලත් සජිත් නිසා එජාපයේ ප්‍රථිශතය වැඩි උනා. අනාගතය තියෙන්නේ සජිත් අතේ ඒත් රනිල් තමයි දැන ඉන්නේ. ජනරාල් පවු. මම හරි ආදරය කරන මනුස්සයෙක්. ඒත් හාල් පාරු කරූලයි, ලාල් පෙරේරලයි, මෛත්‍රී ගුණරත්නලයි එක්ක මොන සටන්ද.. උන්ට තියෙන්නේ බලය පිළිබඳ ලෙඩක්. ජනරාල් චොර වෙන්නේ ඔතනින්. මම කීප තැනකම දැක්කා ෆෝන්සේකා මහත්තයට ඉන්න සෙනග. පව් ජෙප්පො ඒ මනුස්සයා නැතිකලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සජිත් එජාපයේ අනාගතය , නමුත් අනාගතයි වර්ථමානයයි එකතු නොවුනොත් අනාගැනීම විතරයි ඉතුරු . ෆොන්සේකා ලොක්කා ගැන මටත් කණගාටුයි . මනුස්සයා විහින් නැති වෙන්නේ

      Delete
    2. මහා ලොකුවට සමානාත්මතා ගැන කතා කළාට ලංකාවේ අය ඉන්නෙ තාම හණමිටි අදහස් කරපින්නා ගෙන. සජිත්ට වඩා ක්‍රියාශීලී දේශපාලනයේ නියැළී සෑහෙන පිරිසකට බෙදා දෙන්නට ඉඩක් ලැබිච්ච රණසිංහ ප්‍රේමදාසට තමන්ගේ පක්ෂයෙන් ම දැඩි කැපිලි ආවේ මන්දැයි දැනගන්න ඔයාලා දෙන්න ඒ කාලේ ඉපදිලා වත් නැතිව ඇති සමහර විට!!!! ඒ නිසයි ඔයාලා දෙන්න සජිත් එජාපයේ අනාගතය යැයි මුලාවට රැවටෙන්නෙ. අතීතයේ වැරදි හදාගන්න ඕනා අනාගතයයි වර්තමානයි එකතු කරන්න ඉස්සරවෙලා. ඒත් ඒ අතීතයටත් එහා වැඩවසම් සමාජයකට ගිහින් ඉන්න ලංකාවේ අයට එන්න තියන දිග පාර අධිවේග මාර්ග දාලාවත් හදන්න දුෂ්කරයි!!! :)

      Delete
  2. ඔය ඔක්කොම හාල්පාරුවෝ ටික අත ඇරලා ෆොන්සේකා ස්වාධීන වුනා නම් ඉවරයි.ඒත් ඒකට ඉඩක් නැහැ මම හිතන්නේ මේ පවතින ක්‍රමය යටතේ.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා මහත්තයට දේශපාලන ඉදිරි ගමනක් තියනවා නම් එජාපය එක්ක විතරයි , නිල් /කොල කියල බෙදුනු සමාජයේ ඊට පිටින් යන්න බෑ , ලෝකේ කොහේ වුනත් ප්‍රධාන දේශපාලන ධාරාවන්ට පිටින් රාජ්‍ය නායකයො පත් වෙන්නේ නෑ

      Delete
  3. මේ වගේ කාලෙකදී නම් වෙනසක් කරන්න පුළුවන්කමක් නෑ. තව අවුරුදු හතරක් පහක් වත් යාවි.මෑත කාලීන සිදුවීම් එක්ක මිනිස්සු එකා දෙන්න අවදිවෙනවා. හොඳ පිබිදීමක් එන්න නම් හුඟ කාලයක් යාවි. ඒ හින්ද ඉන්න ටික රැකගන්න එක තමයි විපක්ෂයේ මූලික අරමුණ වෙන්න ඕනි. කොහොම උනත් මෙහෙම හරි එකතු වෙන එක හොඳයි. කොටවන මිනිස්සුන්ට අහුවෙලා බෙදිලා ගියොත් මෙයාලට ලබන ආත්මේ තමයි දිනන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ මූලික අදහසට එකඟයි , නමුත් මේ අයගෙ එකතු වීම් කියන බෝඩ් ලැලි අස්සෙත් තියෙන්නේ තව දුරටත් බෙදෙන එක . එතකොට මුලින්ම අභියෝගයට ලක්වෙන්නේ පැවැත්ම

      Delete
  4. ඔක්කොටම එකඟයි බුවා මේකට ඇර!
    //ඔවුන් එක්ව කරලියට ගෙන ආ ජනපති අපේක්ෂයා 2005දී එජාපයේ පමණක් අපේක්ෂකයා වශයෙන් රනිල් ලබාගත් ඡන්ද ප්‍රමාණයට හෝ හිමිකම් කියන්නේ නැත .// 2005 දී රනිල් පැරදුනේ යුද්ධයක් කරන්න හිටපු රජෙක්ට. ඒත් පොන්සේකා පැරදුනේ යුද්ධයක් "දිනපු" රජෙක්ට. මාත් චන්දෙ දුන්නේ මහින්දට. (මගේ ජීවිතේ first and last චන්දෙ) රනිල් ගත්ත ඡන්ද ප්‍රමාණයවත් ගත්තේ නැහැ කියන එක පොන්සේකා චා කරන්න ආණ්ඩුව (ITN) ගහපු බයිලයක් විතරයි.
    ඇත්ත බං මොන සන්ධාන ගැහුවත් ආණ්ඩුව පෙරලන්න වෙන්නේ නැහැ. ශක්තිමත් විපක්ෂයක් නැති එක ලොකු පාඩුවක් අපේ රටට.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කථාවේ ඇත්තක් තියනවා , නමුත් රනිල් වික්‍රමසිංහ යුද්ධය වෙනුවෙන් දක්වපු ප්‍රතිචාරය ඒ වෙනකොටත් බහුතරයක් ජනතාව ප්‍රතික්ශේප කරල තිබුනේ , රනිල්ට ඇලවිලා තිබුන ලේබල් වලත් අඩුවක් තිබුනේ නෑ , ඒත් උතුරේ ඡන්ද නැතුව රනිල් ගත්ත ඡන්ද ප්‍රමාණයට කිට්ටු කරන්න හෝ ෆොන්සේකට හැකිවෙන්න ඕනි , මොකද යුධ ජයග්‍රහණයේ කැල්ලක් ෆොන්සේකටත් තිබුනා ,

      Delete
  5. මාතලන් ඉහත කියපු බලය පිලිබඳ ලෙඩේ වගේම මුදල් පිළිබද ලෙඩේ තියන අයත් විපක්ෂ එකමුතුවක් ගැන සිතන අය මගහැර යා යුතුයි. මට හිතෙන්නේ දැන් ඉන්න රෙජීමයේ පාලකයින්ට තියෙන්නේ මුදල් පිලිබඳ ලෙඩක්. බලයේ අවශ්‍යතාව තියෙන්නේ මේ මුදල් පිළිබඳ ලෙඩේට බෙහෙතක් විදියට තමයි. ඉතින් මුදල් එක්ක ප්‍රශ්න තියන අය අයෙත් ආවොත් ඊළඟ රෙජීමයට ආවත් මේ ටිකම තමයි. මේ ගොල්ලෝ දැන් හතරෙන් තුනක් හම්බකරලා තියෙන්නේ දැන් අලුතින් එන කෙනෙක් මුල ඉදන් හම්බ කරන්න ගන්නවට වඩා දැන් මේ අයම ඉන්න එක ටිකක් ශේප් නැද්ද ? උදාහරනෙකට හිතන්න ෆොන්සේකා ඇවිල්ල ජනාධිපති වෙලා ධනුන තිලකරත්න බෑනා බැසිල් වෙලා මුල ඉදන් හම්බ කරන්න ගන්නවා..කොහොමද සනීපෙ? මේවා නොවෙන්න පුලුවන්ද? සජිත් ට මුදල් එක්ක ප්‍රශ්න ලෙඩ නැද්ද බුවා?මුදල් හොයන එකේ වරදක් නොවෙයි මං කියන්නේ දැන් හිතන්න ස්ටීව් ජොබ් වගේ කෙනෙක්ට මුදල් තිබුනට මුදල් පිලිබඳ ලෙඩේ තිබුනේ නෑ එයාගේ සතුට නව නිර්මාණ කිරීම මුදල් කියන්නේ අතුරු පලයක් විතරයි. අපේ රටට ඕන ඒ වගේ බලය මුදල් පිලිබඳ ලෙඩේ තියන නායකයෙක් නොවෙයි ලස්සන නිදහස් රටක් හැදීම තමන්ගේ සතුට කරගන්න පුළුවන් බලය කියන එක අතුරුපලයක් ලෙස පමණක් විදින දැනටමත් මුදල් පිළිබද ගැටළු රෝග නැති කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මුදල් පිලිබඳ ලෙඩේ නැති අය හොයන්න ගියොත් රනිල් හැර වෙන එක්කෙනක්වත් ගැන විශ්වාස කරන්න බෑ , රනිල් හොරකම් නොකලත් වටේ පිටේ ඉන්න උන් හොරා කන එක නතව වෙන්නෙත් නෑ , නමුත් රටට ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි . හොරා කැම සියලු දෙනාටම පොදු සාධකයක් කියලා ඉවත් කරල තමයි තරාදිය බැලන්ස් කරන්න වෙන්නේ

      අතිරේක - ජොබ්ස් අලුත් නිර්මාණ කලාට වඩා අලුත් දෙයක් හැදුවා කියල මාකට් කරන්න දක්ශයෙක් . අයිෆෝන්5 ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව කිසිම දෙයක් අලුතෙන් නැතුවත් , "අලුත්ම නිර්මාණයක්" විදිහට මාකට් කරල ඇපල් ෆැන්ලව අන්දගන්න තාම ඇපල් කොම්පැනියට පුලුවන්

      Delete
    2. හොරා කැම සියලු දෙනාටම පොදු සාධකයක් කියලා ඉවත් කරල තමයි තරාදිය බැලන්ස් කරන්න පුළුවන් බුවා එත් මෙතන තියෙන්නේ හොරා කෑමක් නොවෙයි නේ හොරා කෑල්ල හැලිලා දැන් එළිපිටම නේ කන්නෙ හැමෝම පුළු පුළුවන් විදියට කනවා.තරාදියට දාන්න දෙයක් ඇත්තේ නැති වෙනවා ලගදීම. තාම පී බී ජයසුන්දර කොහොම හරි ජිල්මාල් එකක් දාල ලොක්කගේ තරාදිය බැලන්ස් කරලා දෙනවා. පුංචි බණ්ඩා නැති වුන දවසට තාරවගේ බඩ පළල එකපාරට රන් බිජු ගත්ත වගේ ගේම දෙයි.

      Delete
  6. රනිල් හිතන්නේ ජනතාවට මේ ආණ්ඩුව එපා වෙච්ච දවසක එයාට ඉබේම බලය හම්බෙයි කියල. එතකන් ඔහේ නිෂ්ක්‍රිය විපක්ෂයේ නායකත්වයේ එල්ලිලා ඉන්න එක තමයි එයාගේ සැලැස්ම. දෙරණ 360 දී මේ බව එයා පැහැදිලිවම කිව්වා. එයා චන්ද්‍රිකාගේ කාලේ හිතන් හිටියෙත් එහෙමම තමයි. එත් චන්ද්‍රිකාව ජනතාවට එපා වෙනකොට මහින්ද ඉදිරියට ආව. රනිල්ට හුලං. මහින්දව එපාවෙනකොට නොහිතපු කෙනෙක් නිදහස් පක්ෂයෙන්ම ඉදිරියට ආවොත් අපේ රනිල් මහත්තයා තවත් අවුරුදු විස්සක් සතුටෙන් බලං ඉඳියි ඉබේම රජකම හම්බෙනකම්.

    ඉස්සර කාලේ හිටිය නරියෙකුට සිංහ මස් කන්න හිතිලා සිංහයා කවද හරි ඉබේම මැරුනම මස් කනවා කියලා හිතලා යන යන තැන සිංහයාගේ පස්සේ ගියාලු.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ ඔය බලා සිටිල්ල තමා යූඇන්පියට ගහපු හෙනේ , නැත්නම් චන්ද්‍රිකාට අවුරුදු 12ක් බලයේ ඉන්න අවකාශයක් ගාමිනි දිසානායකල වගේ මිනිස්සු හිටියා නම් කවදාවත් ලැබෙන්නේ නෑ (ගාමිනි ජීවතුන් අතර හිටියා නම් චන්ද්‍රිකා දිනයිද කියලත් මට සැකයි )

      Delete
  7. ෆොන්සේකා මහත්තය ඔය වගේ වියයුතුව තිබුණු චරිතයක් නෙවි, මටත් ඔහු ගැන නම් කණගාටුයි. සජිත්ට තව හුඟක් කල් තියෙනව, ඔහුට තිබෙන්නෙ හැම දේම අධ්‍යයනය කරමින් ඉවසීමෙන් බලාසිටින්න. නායකත්වය වෙනුවෙන් වන ඔහුගෙ මේ නාඩගම් නැටිල්ලෙන් වෙන්නෙ සමහරක් නිවැරදි කරන්න බැරි වැරදි, ඒකෙන් ඔහුටවත් පක්‍ෂයටවත් වන යහපතක් නෑ. ජනප්‍රියත්වයෙ උපරිමය ස්පර්ශ කරමින් සිටි ජනාධිපතිවරයා දැන් ටික ටික වේදිකාව බැහැගෙන පල්ලෙහාට එනව වගේ පේනව, ඒ වුනාට ඔහුටත් තව කාලයක් අල්ලල ඉන්න පුළුවන්, ඒත් යන තාලෙට නම් පේන්නෙ ඔහු බලයෙන් පහ වුන දවසක රාජපක්‍ෂ නම ගෑවුන කෙනෙකුටවත් ආයෙ කාලයක් යනකන් ඡන්දයක් දිනනව බොරු, මෙච්චර කාලෙකටත් වෙල තියෙන්නෙ අතිවිශාල ජනප්‍රියත්වයක්, සුපිරි බලයක් ලැබුණු හැමෝගෙම පාලන කාලයෙ අවසානය ශෝචනීයයි. ඔහුගෙ තත්ත්වය අයහපත් වෙන්න වෙන්න විපක්ෂයෙ තත්ත්වෙ සතුටුදායක වෙනව, එක අතකට දැන් ඔහු පියවරෙන් පියවර තමාම විනාශ කරපු විපක්ෂෙ ගොඩ දාමින් ඉන්නව කිව්වත් වැරැද්දක් නෑ. අදාල කාලෙ වෙනකොට විපක්ෂෙ පොල්පිති ටිකක් හිටියත් උන්ට බලය ලැබේවි. එකම ප්‍රශ්නෙ කාලය පිළිබඳ ප්‍රශ්නය විතරයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද ගේ ජනප්‍රියතාව නගරේ තරම් ගමේදී හානියට පත්වෙලා නෑ කියලයි මම දකින්නේ , ඒ නිසා තමන්ගේ උපාය උපක්‍රම වෙනස් නොකලොත් කාලයට වැඩේ භාරදීල පැත්තකට වෙලා විපක්ෂයට ජයගන්න අමාරුයි

      Delete
    2. චන්ද්‍රිකාගෙන් පස්සෙ ඒ තැනට එන්න පාර කපාගන්න මහින්දට පුළුවන් වාතාවරණයක් එදා තිබුණට අද ඔහුගෙ නායකත්වය යටතෙ වෙනත් කෙනෙක්ට ඒ වගේ අවස්ථාවක් කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් තිබෙන්නෙ. විය හැකි එකම දේ ඔහුගෙ අනුප්‍රාප්තිකය විදියට රාජපක්‍ෂ කෙනෙක්ම ඉදිරියට ඒම පමණයි වගේ මේ යන සිස්ටම් එක අනුව. මොනම විදියෙ පාලක පැලැන්තියක් වුනත් අඩුතරමෙ දශක කිහිපයකින් පසුවවත් කඩන් වැටෙනව, ඒක නවත්වන්න බැහැ. අනෙක 56 ඉඳලම ශ්‍රිලනිපයෙ බලය තිබෙන්නෙ ග්‍රාමීයව. ඒත් ඉතිං අනෙක් පැත්තටත් සැරින් සැරේ බලය යද්දිත් හිටියෙ ඒ ගමේ මිනිස්සුම තමා. ඒක ඉතිං ඒ ඒ පාලකයොන්ගෙ කෙරුවාව අනුව තීරණය වන්නක්. මම හිතන්නෙ නෑ ඉදිරියටත් ඒක වෙනස්වෙයි කියල. ඒ වගේම ඉතිං සමහර විට රනිල් බකන්නිලං හිටියට ඔය වෙනස්වීම් ඔහුගෙ ජීවිතකාලය තුළ නොවෙන්නත් පුළුවන්. ඔහුත් දහ අටයි විස්සෙ කොල්ලෙක් නම් බලා සිටීමෙ ගැටළුවක් නෑ. ඒ නිසා මමත් කියනව ඔහුට බලය අවශ්‍ය නම් ඔහු උත්සාහ කළ යුතුයි. එසේ නොවූවත් අර කිව්ව වගේ කවද හරි ලැබෙයි, එතකොට ඔහු නොඉන්නත් පුළුවන්.

      Delete
  8. උදිතගේ කොමෙන්ට් එක දැක්කහම කාලෙකට කලින් අහපු ඊසොෆ් ගේ උපමාකතාවක් මතක් උනා. මඩේ එරිලා හිටිය ඌරෙක්ගෙ ඇන්ගේ අම්බානට කූඩැල්ලෝ එල්ලිල ලේ බොනවලු. මේක දැකපු මනුස්සයෙක් ඌරා ගැන දුක හිතිලා කෝට්ටක් අරන් කූඩැල්ලෝ අහක් කරන්න ගත්තලු. ඌරා අමාරුවෙන් කිව්වලු, මුන් ඔහොම හිටපුදෙන්, දැන් උන් සෑහෙන්න ලේ බීලා ඉන්නේ... උන්ට තව වැඩිය බොන්න බෑ, මුන්ව අහක් කලොත් ලේ බොන්න බලාගෙන ඉන්න අනිත් කූඩැල්ලෝ ටික ඇවිත් අයෙමත් මුල ඉඳලා ලේ බොන්න ගනියි කියලා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත තිසර මම එම අනතුර නම් හොදින්ම දකිනවා.

      Delete
    2. හැබැයි පොඩි වෙනසක් තියනව. මේ කූඩැල්ලට ලේ බීමේ නිශ්චිත සීමාවක් නෑ. ඉස්සෙල්ල කූඩැල්ල බොනව. ඊට පස්සෙ දරුවන්ට බොනව දරුවන්ගෙ දරුවන්ට ඔවුන්ගෙ දරුවන්ට....... ඇතිවෙන් බොනව. සෙල්ලං නෙවේ.

      Delete
    3. කූඩැල්ලන් කොයි කත් එකයි කියල හිතන් ඉන්නකන් ඌරන්ට සොරිම තමා !

      Delete
  9. බුවා මම එකඟයි. මේ විපක්ෂයට යමක් කළ හැකියි. නැත්තේ එකමුතු බව. ඔබට මතකද 1977 සිට 1988 පමණ දක්වා විපක්ෂයත් සිටියේ මේ වගේ. නමුත් චන්ද්‍රිකාගමනයත් සමග නැඟී සිටියා. දැනට වෙලා තියන්නේ නැඟී සිටීමට අමාරු කමක් මිස ශක්තියේ අඩුවක් නෙමේ.

    සජිත් කරු හරි විදියට ක්‍රියා කර පක්ෂය පැත්තෙන් සිතතොත් මේක කර ගන්න පුලුවන්. හැබැයි සජිත් කවදාවත් එය කරන්න දෙන්නෙ නැහැ. අනික ෆොන්සේකා තමන්ට හොදම ගමනක් ඇති තැන තෝරාගත යුතුයි. නායක කමම ඉල්ලා සිටියට වැඩක් නැහැ. කරන්න වැඩක් නැත්නම්.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා මහත්තයගේ සිලෙක්ශන් සැහෙන්න අප්සට් , අන්තිමේදී සිරිතුංග ජයසුරියලගේ ගාණට වැටිලා නතර වෙන්නේ මෙහෙම ගියොත්

      Delete
  10. මේ ක්‍රමය තුල විපක්ෂයට කලහැකි දෙයක් නෑ. 78 ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවකට යන්න පුළුවන් උපරිම දුර කොච්චරද කියල දැනගන්න ක්‍රමයක් නෑ. 94දි නායකයින් ඝාතනය වෙලා ආන්ඩු පෙරලියක් නොවෙන්න සමහර විට තාමත් බලයේ ඉන්නෙ එජාපය වෙන්න ඉඩ තිබුන. දැන් ඒ තත්වයේ ඉන්න මහින්දගෙ ආන්ඩුව කොච්චර දුර යයිද කියල කියන්න බෑ. තව අවුරුදු 15ක් 20ක් මහින්ද ජනාධිපති වෙලා හිටියොත් පුදුම වෙන්න දෙයක් නෑ.

    අනෙක් අතට අද තියෙන්නෙ පිටිපස්සට පිහියෙන් අනින්න බලාගෙන ඉන්න විපක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සහිත සංදානයක්. රනිල් සජිත් දෙන්නම අවංක නෑ. රනිල් විපක්ෂ නායකකමින් සෑහීමකට පත්වෙනව. මහින්ද කවදාහරි පිරිහිලා තමුන්ගෙ කටට කෑමටික වැටෙනකල් සජිත් බලාගෙන ඉන්නව. මම කියන්නං හොඳ උදාහරණයක්. පහුගිය නගරසභා මැතිවරණයේදී මහින්ද මහත්තයගෙ ගෙදර තියන තංගල්ලෙ බලය ලේසියෙන්ම ලබාගැනීමේ හැකියාව එජාපයට තිබුන. ඒක එහෙම උනානං ආන්ඩුවට බරපතල පරාජයක් වෙනව. ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් වෙචච, යූඑන්පී බහුතරයක් ඉන්න තංගල්ල මුස්ලිම් වීදියේ මිනිස්සු ඡන්දය දාන් ආවෙ නෑ. හේතුව මුස්ලිම් වීදිය පුරා ආරක්ෂක අංශ අනවශ්‍ය විදියට රැඳී සිටීම. මේක කලින් අනතුරු අඟවල තිබුන දෙයක්. ඒත් තමුන්ගෙ දිස්ත්‍රික්කයේ වැදගත් ජයග්‍රහණයක් ලබාගැනීමට සජිත්ට ඕනවුනේ නෑ. එක්කෝ ඔහු ජනපති එක්ක ඩීල් එකක් තියනව. නැත්නම් මුලින් කිව්ව වගේ බලය ලැබෙනව නම් තමුන්ටම කියන ආකල්පයෙන් ඉන්නව. මේ තත්වය යටතේ විපක්ෂය මොනව කලත් වැඩක් නෑ.

    ෆොන්සේක ගැන නං දුකයි. ඔහු දේශපාලනයෙන් සමුගෙන ව්‍යායාමටික කරගෙන ඉන්නව නං මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා මහත්තය ව්‍යායාම් ටික කරගෙන ඉන්නවා නම් සතුටු අය වැඩිය ඉන්නේ ආණ්ඩුව පැත්තේ.. ඒ මනුස්සයා මාරාන්තික තුවාල ලැබුවට පස්සේ ව්‍යායාම කරගෙන ඇමෙරිකාවට වෙලා හිටිය නම් ප්‍රභාකරන් අදත් සතුටින් සැපෙන්.. ආණ්ඩුවත් ගිහින් ගෙදර රනිල්ලාගේ කෂ්ටිය ගරනවා අවුරුදු විස්සක ඇරියස් එක්ක..

      Delete
    2. // රනිල් සජිත් දෙන්නම අවංක නෑ//

      මෙන්න මේක තමයි සියලුම ගැටලු වල ආරම්භය ,

      ඇනෝ - ආණ්ඩුව ෆොන්සේකාගේ ව්‍යායාම වලට සතුටු වෙනවා වගේම , ව්‍යායාම පැත්තක දාලා ආණ්ඩුවට වාසි වෙන විදිහට වැඩ කරනවටත් සතුටු නොවෙන්න හේතුවක් නෑ

      Delete
  11. ජනතාව මොන විදියටද අන්දන්නේ කියලද ඔය අහන්නේ??

    ReplyDelete
    Replies
    1. ජනතාව ඇන්දෙන්න කැමති කාටද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ , සමහර ඇඳුම් තියනවා ජනතාවට රෙදි පෙන්නුවාම කපල මහල ඇඳගන්නවා .

      Delete
  12. විධායකය නැති කරන්ඩ ඔය කවුරුවත් උත්සාහ කරන්නේ නෑ.මොකද හැමෝගෙම හිත්වල පුංචි බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි අහම්බෙං හරි තමන්ටත් ඔය අසීමිත බලයේ රස බලන්ඩ ලැබේවි කියලා.ඒක හින්දා හැඕම කරන්නේ පොඩි මිනිස්සුංව ( ඒ කියන්නේ මහජනතාව ) රවට්ට රවට්ට පුටුව ගන්ඩ පොර කන එක.

    ReplyDelete
    Replies
    1. විධායකය නැති කරන්න නම් , දරුවෙක් හෝ සහෝදරයෙක් නැති ජනාධිපතිවෙලා මාස දෙක තුනකින් මැරෙන තරම් බරපතල රෝගයක් තියන එකෙක්ව ජනාධිපති කරන්න වෙනවා

      Delete
  13. දේශපාලනඥයෙක් වෙන්න ලංකාවේ අයෙක් යන්නෙ ඇයි? රට හදන නාමයෙන් තමන් හැදෙන්න ද?

    දේශපාලන පක්ෂයකට ලංකාවේ අයෙක් බැඳෙන්නෙ ඇයි? පක්ෂය සවිමත් කර බලයට එන නාමයෙන් තමන් හැදෙන්න ද?

    දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ වලට බැඳී අනුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් තමන් හැදෙන අය වෙතින් "තමන් හැදෙන" එක අයින් කරන්නට කළ යුත්තේ එකම එක දෙයයි. දේශපාලනය නැතිව තමන් හැදෙන්නට හැකි අය ඊට ඉදිරිපත් වීමයි. දේශපාලනයට ගැති වී නොව තම උත්සාහයෙන් හැදෙන මිනිස්සු වැඩි වෙද්දී දේශපාලනඥයන් සහ පක්ෂ වල ඉන්නා මුග්ධ නායකයන්ගේ බලය අඩුවෙනවා.

    එහෙම දවසක් එන තෙක් හැමදාම අනුන්ගේ බලය ගැන කතා කරනවා මිසෙක තමන් තුල ඇති බලය කුමක් දැයි මිනිසා වටහා ගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //දේශපාලනය නැතිව තමන් හැදෙන්නට හැකි අය ඊට ඉදිරිපත් වීමයි//

      +++++++++++++++++++++++++++

      Delete
    2. මේකනේ වැඩේ තමන් කිසිම මහන්සියක් දරන්නේ නැතිව ඒක රැයින් හැදෙන්න පුළුවන් විදියක් නේ අපේ රටේ දේශපාලනය. හැබැයි තමන්ව මාකට් කරලා චන්දෙ දිනීමේ හැකියාව මේ අයට තියනවා ඊට පස්සේ. මේ යන විදිය හොදයි විධායකයේ ඉදන් හිගන්නා දක්වා හැම එකාම හදන්නේ කිසිම මහන්සියක් නොවී නිකම්ම හැදෙන්න. ලංකාව එච්චර සංකීර්ණ නැහැනේ තේ රබර් පොල් ටිකයි ගාමන්ට් ටිකයි පිටරට ගිහින් ඉන්න අය කබුරලා එවන ටිකයි විතරයි නේ ගහල යටිමඩි ගහල මොනවා කලත් ඔයටික තමයි බෙදා ගන්න වෙන්නේ. හිගන්නාගේ පාත්තරේ උදුරලා බෙදාගන්න ඔක්කොම වලි කන්නෙ. අනාගත පරපුර නයකරලා ගන්න ණය ආධාර ඒවත් බෙදා ගන්නවා. වෙළඳ පොළ විසින්ම ස්වාභාවිකව මේ ගැහිල්ලේ සීමාව ඉතාම නුදුරේදී ලකුණු කරයි. වතුර වගේ තෙල් සල්ලි තිබුන ගඩාපි දශක දෙක තුනක් ඇද්ද්දට අපිට එහෙම මුදල් සැපයුමක් නෑ.

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව