Ambalama - සැබැ සමාජ කතිකාවක සොඳුරු නවාතැන්පල

2010

ඇමරිකාව එක්ක මලද?................. එහෙනම් අදම බලන්න

ඊනියා ,දේශද්‍රෝහී  අධිරාජ්‍යවාදී එතකොට මේ ලඟකදි විකි ලීක්ස් එකේ ජුලියන් අය්යා විසින් රෙද්ද ගැලවූ, ඇමරිකාව එක්ක ඔය රනිල් මහත්තය වගෙ බටහිර ගැති ඉත්තන් කිහිපදෙනෙක් ඇරුණාම අපේ රටේ ගොඩාක් දෙනා තරහයි නේ . එහෙම අයට මරු චිත්‍රපටයක් තමා "Tere Bin Laden "

මේක 2010 වසරෙ ආපු හින්දි චිත්‍රපටියක් අපේ රටෙ එතරම් ප්‍රසිද්ධ නොවුනත් බලන්න වටින පට්ට ආතල් චිත්‍රපටියක් . නීති විරෝධී පිටපත් වලට ලින්ක් දෙන එක හොඳ නැති උනත් ලංකාවෙ නිත්‍යානුකූල පිටපත් නැති නිසා ඔන්න ලින්ක් එකත් දෙනවා බාගෙන බලලා ගුණාගුන කියන්න

Download Page

ඇත්තටම මේක බලන්න ඇමරිකන් විරෝධියෙක් නම් වෙන්න ඔනි නැ , හිනා වෙන්න කැමති කාටත් එල !!


ඊලඟට මෙක ආදර කතාවක් නැති , ඒ වගේම සාපේක්ෂව කෙටි හින්දි චිත්‍රපටියක් . ගීත කිහිපයක් තිබුනත් ඒවා කතවට අදාල කතාව ඉක්මනින් ගලගෙන යන්න යොදා ගනිපුවා ඒ නිසා ඒවත් එක්කම බලන්න .

ආ.......... තව දෙයක් කාට හරි පුලුවන් නම් මේක ජාතික රූපවාහිනියට හරි  ITN එකට හරි දෙන්න .වසරේ මහා දේශප්‍රේමී චිත්‍රපටිය විදිහට නිදහස් දවසෙම විකාශය කරන්න ඉඩ තියනවා , එහෙම වුනොත් අපේ විමල් ඇමතිතුමා අබා 2 ට දාල කැමතිම චිත්‍රපටිය විදිහට මේක තෝරගන්නවාමයි.එතකොට සුද්දගේ භාෂාවෙන් subtitles කියවන්න කැමති නැති නිසා නලින්ද සිල්වා මහත්තයා හින්දි ඉගෙන ගෙන හරි මේක බලයි .ඇමරිකාවේ බිඳ වැටීම හා නොහැකියාව පෙන්නන කදිම චිත්‍රපටියක් කියල චම්පික මහත්තයා දේශනයකුත් පවත්වයි .දේශප්‍රේමි කලාකරුවෙක් කියල Film  එක හදපු Director ව ගෙන්නල්ල දේශහිතෛශී ජාතික ව්‍යාපරෙ කට්ටිය සම්මාන උලෙලෙකුත් තියන්න බැරි නැහැ


ඒ විතරක්යැ . වැඩ කරන ජනතාව ගේ අයිතීන් උදුර ගන්න කරපු " යැංකි මංකි " කුමන්ත්‍රනක් කියල වික්‍රම භාහු මැතිතුමා මොකක් හරි ශ්‍රවණාගාරයක් සම්මන්ත්‍රණය්ක තියන්නත්  ඉඩ තියනව....

The Poster from wikipedia

කට නිසා නහින්නේ මාලුද ? නැත්නම් UNP කාරයින්ද?

මාලුවා නහින්නේ කට නිසා යන්න පැරණි කියමනකි .පැරැණ්නන්  එසේ කියා ඇත්තෙත් කට කසනවාට ම නොවේ. බොහෝ විපත් වලට හේතුවිය හැකි "කට" පරිස්සමෙන් තබාගත යුතු නිසාය  . නමුත් දැන් දැන් කාරණා සිදුවෙන හැටියට නම් අපට ඒ කියමන වෙනස් කල හැකිය .ඒ " UNPය නහින්නෙත් කට නිසා " ලෙසටය
මට මතක එජාප ඉතිහාසයේ කට වරද්දා ගැනීමේ ප්‍රමුඛයා රනිල් වික්‍රමසිංහ මහතාය . දේශපාලන ලොකයේ ඉතිහාසගතවන තරමට එතුමා ගොන් කතා කියා ඇත

නංගිලාට බ්‍රේස්ලට් . බුලත් විට - චුයින්ගම් . චන්ද්‍රිකාව කොටියට භාර දීම
පස් දුන් රට, ඊසාන දිග මෝසම.තොප්පිගල කැලයක් . SMS වෙනුවට Ringtones  ,පාලම් හදන්නෙ ලමයි ඟඟට දාන්න.පොලොන්නරුවට වරායක්.... etc  ඇතුලු ගොන් කථා රාශියක් නිසා එතුමා කට වරද්දා ගැනීමට කප් ගසා ඇත


ඊලඟට කට වරද්දා ගන්නේ එවකට එජාපයේ ජාතික සංවිධයක වූ එස්.බී දිසානායක මහතාය , ඒ අධිකරණ තීන්දුවක් විවේචනය කරමිනි. ඔහුට නම්  එයට පිලිතුරු ලෙස වැලිකඩ බෝඩිමේ නිවාඩුවක් නොමිලේම ලැබුණ අතර අන්තිමට නතර උනේ සන්ධානයේය.

 එජාපයේ ඔලමොට්ටලම කතා සීරීස් එක දෙන්නේ රවී කරුණානයක මහතාය . යුධ සමයේ ඔහු කියූ අලිමංකඩ පාමංකඩ හා මැදවච්චි කිලිනොච්චි කතා නිසා අදටත් එජාපය චාටර් වනවා පමණක් නොව පක්ෂය තුලත් ඔහුට විරුද්ධව මතවාදයන් ගොඩ නැඟී ඇත .

එජාප සමාජිකයන් පමණක් නොව ජනපතිවරණයේදී එජාපය සහය දැකිවූ ෆොන්සේකා මහතාත් හත්පොලේ ගාගන්නේ කට නිසාය .

එජාපයේ කට වරද්දා ගැනීම් වල අලුත්ම සටහන කරු ජයසූරිය මහතා විසින් තබා ඇත .ඒ යුධ අපරාධ චෝදනා පිලිබඳ පරීක්ෂණයක් අවශ්‍ය යැයි පවසමිනි .ඇතැම් විට ඔහුගේ අදහස වෙන යමක් වන්නට ඇති මුත් දැන් නම් එය පරිවර්ථනය වී ඇත්තේ ඔහුගේ මන්ත්‍රි ධූරයටත් කෙලවෙන තැනටය .වගකිව යුතු දේශපාලඥයෙක් අදහස් ප්‍රකාශ කිරීමේදී මීට වඩා පරිස්සම් විය යුතු බව දැන්නම් ඔහුට වැටහී ඇතුවා නිසැකය.
 ඒත් ප්‍රමාද වැඩිය  ( කරූ,. රනිල් මෙන් ගොන් කතා කියන්නේ නැතැයි පෝස්ටයක ලියා මාසයක් වත් නැත ඒක ලිවාවට මටත් දැන් ලැජ්ජය)

 එජාපයේ සජිත් බලකායේ කිසිවෙකුත් තවම කට වරද්දා ගෙන නැත . ඉදිරියටත් එසේම වේවායි අපි ප්‍රාර්ථානා කරමු . ඒ ප්‍රජාතන්ත්‍රවාදය නාමිකව හෝ පැවතීමට නම් රටේ පක්ෂ දෙකක් පැවතිය යුතු නිසාය

බුවාගෙන් කථාවක්

බුවා අද කථාවක් කියන්නයි හදන්නේ . හැමදාම ලියන සමාජ කාරණා වලින් පොඩියක් ඈත් වෙන්නත් එක්ක . මේ කථාව දන්න අයත් ඇති මමත් ලඟදි වෙන කෙනෙකුගෙන් අහගත්ත එකක්


ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම...( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා . "අම්මට උඩු ශාලධිපතිය ලඟ " ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ? " කියලා  

ශාලාධිපතිට  කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

 ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . ( අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට  දෙතුන් සැරේ චැටර් වෙන්වනෙ )
ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු


" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න"  තමයි කියල හිතපු ශාලාධිපති ගොන්පොර තරඟයක කුලු හරෙකෙක් වගෙ පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි  කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .

 ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි 'කලවැද්දා' තෝ මාව තම්බන්න " ( ශාලාධිපති අංකල් 'ෆොන්සේකා' පාක්ෂිකයෙක් ද කොහෙද ) කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා

ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද ?" කියලා













 

රටේ ඊලඟ ජනපති කව්ද?

මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජනපති පුටුවෙන් ඉවත් වූ දිනක ( තව වසර විසි පහකින් හෝ ) වෙනත් අයෙක් ජනපති වනු ඇත . ඒ කවුරුන් විය හැකිද 


සන්ධානය


01) බැසිල් රාජපක්ෂ මහතා
සන්ධානය තුල සිටිනා වඩාත් සුදුසුම පුද්ගලයාය . බොරු දේශප්‍රේමීත්වය හෝ සංස්කෘතිය හෝ ජාතිකත්වය පසු පස යන්නෙක් නොවන නිසා බොහෝ විට සිය සහෝදරයාටත් වඩා සාර්ථක විය හැක . දැනට පෙනෙන ආකාරයට නිදහස් පක්ෂයේ ප්‍රභලයින්ගේ විස්වාශයත් දිනා ඇති නිසා . විමල් වැනි හැකරැල්ලන් හලා දමා වුවත් වැඩේ කරගෙන යා හැකිය . නමුත් චන්දයකට ඉදිරිපත් වීමෙදී පොඩි පරහක් ඇති වීමට ඉඩක් ඇත්තේ ඇමරිකන් පුරවැසි භාවය නිසාය.


02) නාමල් රාජපක්ෂ මහතා 



බොහෝ දෙනෙකු කියන ආකාරයට මහින්දගෙන් පසු ජනපති නාමල්ය . නමුත් මංගල සමරවීර වැන්නවුන් දකින ආකරයේ ජුන්ටාවක් තවමත් අප රටේ නැති නිසා තාත්තා යනවිට පුතාට ඔටුනු පැලඳවිය නොහැක . එවැන්නක් සිදුවීමට නම් මහින්ද ජනපති තුමා තව චිරාත් කාලයක් රට පාලනය කර රට පලමු ලෝකයේ රටක් බවට පත් කල යුතුය . (ඇත්තටම එහෙම වනවා නම් එවන් ජනපති කෙනෙකුගේ පුතා ජනප්ති වනවාට බුවත් අකමැති නැත )
නැතිනම් නාමල් සුවිශේෂි, මින් පෙර කිසි අයෙකු තුල නොවු ගුණාංග වලින් සමන්විත යුතුය . එසේත් නොමැති නම් නිදහස් පක්ෂයේ සියලු ජේෂ්ටයන් පක්ෂය හැරගොස් සජිත් මහත්තයාට ලැබුන ආකාරයේ පිනා චාන්ස් එකක් ලැබිය යුතුය . නමුත් මේ එකක් වත් සිදු වෙතැයි සිතිය නොහැකි නිසා මහින්ද ජනපතිගෙන් පසු නාමල් පත්වීම සිදුවීමට ඉඩකඩ අඩුය.
තම පියා රටේ ජනප්‍රියතම ජනපතිවරයා වීම හැර වෙනත් කිසිදු සුදුසු කමක්( එය සුදුසු කමක් නම් ) හෝ නුසුදුසු කමක් නාමල් මන්ත්‍රිතුමා පෙන්වා නැතත් වැඩ පෙන්වනවා නම් වැඩ පෙන්වීමට අවශ්‍ය කරන කාලයත් , බලයත් ඔහුට නොඅඩුවම ලැබී ඇත


03)මෛත්‍රිපාල සිරිසේන මහතා
පසු ගිය සමයේ අගමැති ධූරයට නම් කියැවුනු එක් අයෙක් නිසාත් නිදහස් පක්ෂයේ මහ ලේකම් නිසාත් සැලකිල්ලට ගන්නා ලද මුත් ඊලඟ ජනපති වීමට ඇති හැකියාව නම් අල්පය. පතෝල ප්‍රතිපත්තියෙන් ඉවත්ව සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ ජනතාවට තදින් දැනෙන වෙනසක් කිරීමට සමත් උනොත් නම් අපේක්ෂක කමට් වත් ට්‍රයි එකක් දිය හැක   


04) නිමල් සිරිපාලද සිල්වා මහතා 
මෙතන ලිවීමට කිසිසෙත් සුදුසු පුද්ගලයෙකු නොවන මුත් පසු ගිය කාලේ අගමැති කමට නම් ලියවුන නිසා සඳහන් කල යුතුව ඇත.කොයි හැටි වෙතත් ශ්‍රි ලාංකිකයින් එතරම්ම අවාසනවන්තයැයි මට හිතෙන්නේ නැත


05) ගරු අග්‍රාමාත්‍ය තුමා
රටේ දෙවන පුරවැසියා නිසා නිල වශයෙන් ජනපති වීමෙ අවස්ථාවක් ඇත. (මහින්ද හා ප්‍රේමදාස කලාක් මෙන්) නමුත් අගමැතිතුමාගේ තුන් හිතකවත් එවන් බලාපොරොත්තුවක් ඇතැයි බුවාට නොසිතේ


එජාපය


01) රනිල් වික්‍රමසිංහ මහතා


රටේ විපක්ෂ නායකයා නිසාත් , එජාපයේ වත්මන් නායකයා නිසාත් තර්කානුකූලව රටේ ඊලඟ නායකත්වයට පත් වීමට අවස්ථාවක් ඇත . යම් යම් අංශයන් සැලකූවිට රටේ අන් කිසිදු දේශපාලන නායකයෙකුට නොමැති ශක්‍යතාවක්ද මෙතුමාට ඇත . නමුත් කණගාටුවට කාරණය නම් ඊලඟ චන්දය වන තෙක් පක්ෂ නායක කම රැක ගැනීමට හෝ පක්ෂ නායකයාව සිටිය හොත් එජාපය රැක ගැනීමට හෝ   මෙතුමාට නොහැකිවීමයි . එජාපයේ ඇතැම් පුද්ගලයින් විසින්ම කිච කරනු ලැබ ඇති නිසා පොලොන්නරුවට වරායක් ලැබුනත් රනිල් මහත්තයා ජනපති වේයැයි නම් සිතිය නොහැක  


02) සජිත් ප්‍රේමදාස මහතා


රණසිංහ ප්‍රේමදාස ජනපති වරයගේ පුතා වීමත්, මහන මැෂින් ඇතුලු ආධාර බෙදමින් යාමත් , ගිරිය කඩාගෙන කැගැහීමත් ඇරුන විට යමක් කර නැති වුවත් එජාපයට ඇති එකම( දැනට ) විකල්පයයි . ග්‍රාමීය එජාප පාක්ෂිකයා තුලින් හොඳ සහයෝගයක් ලැබුනත් සුලු ජාතික චන්ද , නාගරික මධ්‍යම පාන්තික චන්ද ඇතුලු අනෙකුත් එජාප කොටස් ආකර්ෂණය කරගැනීමට සජිත්ට හැකිද යන්නත් . පවතින රජයට වඩා හොඳ විකල්පයක් වීමට හැකිද යන්නත් ඉදිරි කාලයේදී තීරණය වනු ඇති අතර වත්මන් රජයේ සාර්ථක අසාර්ථක බාවය මත සජිත් මහත්තයාගේ ජනපති සිහිනය තීරණය වනු ඇත 


03) කරූ ජයසූරිය මහතා


සැහෙන තරම් වැදගත් ලෙසත්, රනිල් මෙන් චාටර් නොවෙන ලෙසත් ගමේ මිනිහට දැනෙන ලෙසත් හැසිරිය හැකි මෙතුමා රටේ නායකත්වය්ට සැබවින්ම සුදුස්සෙක් වුවත් පක්ෂ මාරුව නිසා තම අවස්ථාවන් අහිමි කරගෙන ඇත . රනිල් නායකත්වයෙන් ඉවත් වුවහොත් මෙතුමාත් ගෙදර යන්නට ඉඩ ඇති නිසා ජනපති කමකට ඉඩ කඩ අඩුය . කෙසේ වුවත් රනිල් මහත්තයාට නම් වඩා චන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වනු 
ඇත


04)දයාසිරි ජයසේකර මහතා  


මා කලින් සඳන් කල එජාපයේ සියලුම චන්ද පදනම් සුරක්ෂිත කරගත හැකි . ඉතා හොඳ දේශපාලන දැක්මක් ඇති මා හිතනා විදිහට වර්ථමානයේ එජාපයේ ජනප්‍රියම මන්ත්‍රි වරයාය . නමුත් සජිත් මහත්තයා නිසා අවස්ථාවක් නොලැබෙනු ඇත . එසේ වුවත් පසු කලෙක හෝ රටේ නායකත්වයට පත්වීමට ඉඩ ඇත  


05)රවි කරුණානායක මහතා 


සජිත්ට එරෙහිව නායකත්වයට ඉදිරිපත් වන බව කියා යම් සනිටුහන්ක් තැබුවත් ජනපති වීමෙ කිසිදු අවස්ථාවක් නැත . රනිල් මහත්තයා තරම් වත් චන්ද ගත නොහැක


කුසලානය


සරත් ෆොන්සේකා මහතා


කලින් ජනපතිවරණයේ දෙවෙනියා නිසා නොලියා බැරි වුවත් ජනපති වීමේ අවස්ථාවක් නැත .සුදු කොඩි කථාවටත් වරද කරු වුවහොත් අවුරුදු 2.5 අවුරුදු 25 දක්වා වුවත් දික්විය හැක


ජවිපේ


අපේ රටේ ජනතාවට එතරම්ම පිස්සු නැත !




අනාගත නායකයින් ගැන කියන අතරේම වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට සුභ පැතුම් එක් කරන්නටත් , එතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් බුවා කැමතිය . ඒ පැල සිටුවීම් හා සංදර්ශන වලට පමණක් සීමා නොවී අප රටේ අනාගතය යහපත් කිරීමටය . ඒ සඳහා පලමුවම කලයුත්තේ  ගතානුගතික මතවාද වලින් හා එවන් මතවාද දරන්නන්ගෙන් දුරස් වීම බවද පැවසීමට කැමතිය .

ඔක්කොම කණපිට

අපේ රටේ බොහෝ දෙවල් කෙරුනේ කණපිටට හෙවත් වෙන කොහේවත් සිදු නොවන අකාරයටය . වැඩ පමණක් නොව මිනිසුන්ගේ මතවාදයන්ද එලෙසමය මේ පසු ගිය කාලයේ එවන් සිදුවීම් කිහිපයකි
----------------------------------------------------------------------------------
ඊයේ සූදු පනත කියා එකක් සම්මත විය . එය කැසිනෝ සඳහා ඉඩ කඩ ලබාදෙන්නක් බව පැවසේ . ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රනිල් වික්‍රමසිංහ  එයට විරුද්ධ වෙත්දී ධර්ම රාජ්‍යක් හදන්නෙයි කියා පැමිණි රණවක ත් . පර සුද්දාට එරෙහි බෙලෙක් හඩ, විමල් මැතිඳුත් එයට පක්ෂය


ඇත්තටම විමල් මැතිඳු කණපිට ගැසුවේ මීට ටික කලකට පෙරය . O/L වලින් පසු විප්ලවයට කියා කැලේ පනින  ඔහු රජතුමාගේ ඔඩොක්කුවට පැන්න දා සිට කණපිටය


විමල් එලෙස හැසිරෙන විට දේශපාලන උරුමයක් හා ජනතා ප්‍රසාදයක් සහිත අර්ජුන ෆොන්සේකාගෙ පස්සේ වැටි අනාත වී ඇත


කෝටි ගණනින් මුදල් සංසරණයවූ යුද්ධයක් කල හමුදාපති වරයා බැටරි කෑලි කිහිපයක් හා රේඩාර් වගයක් හොරා කැමට හිරබත් කන අතර නැව් ගණන් අවි ජාවාරම් කල කොටි නායකයින්ට නඩුවක් වත් නැත

විජේවීරව පණ පිටින් පිච්චුවෙත් , සිරිසේනගේ රෙද්ද අස්සේ රිංගූ සෝමවංශ හැර අනික් ජවිප නායකයින්ට බැටේ දුන්නේත් යුධ හමුදාවෙන් වුවත් විශ්‍රමික හමුදාපති පස්සේ යනු ඇර වෙන යමක් අද ජවිපෙට බැරිය

ලංකාවේ පලමු පෞද්ගලික විශ්ව විද්‍යාලය දමන්නේත් ඊට විරුද්ධ වෙන්නන් හට ඇට්ටි හැලෙන්න දෙන්නෙත් එජාපය යි . නමුත් එජාපය අද සිසු අයිතීන් ගැන කතා කරනවා පමණක් නොව උඳුලයා නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට යන්නේත් සිරිකොතටය


පක්ෂය ගමට ගෙනියන්න යැයි කිය එජාපය ග්‍රාම චාරිකා ගියත් ග්‍රාමීය ජනතාව අතර වඩාත්ම ජනප්‍රිය සජිත් හෝ අඩුතරමින් දයාසිරිවත් එක්ක යන්නේ නැත
ෆොන්සේකාව දේශපාලන ලෝකයේ අතරමං කල රනිල් අද සෙත් කවියක් කියනවාට වඩා යමත් නොකලත් . ෆොන්සේකා ට තදබල ලෙස විරෝදය පෑ සජිත් ඔහු බේරා ගැනීමට මහ පාරේය 

එජාපයේ අනාගත නායක සජිත් ගේ ලොකුම හතුරා මහින්ද හෝ රජය නොව රනිල් වන අතර රනිල්ගේ ලොකුම හතුරා සජිත්ය

එජාපයේ ධනවාදයට විරුද්ධව ගොඩ නැගු නිදහස් පක්ෂය මුල් වූ රජය එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට එජාපයේ අනාගත නායකයින් එජාපය වාමාංශික කිරීමට සැරසේ 

ඕනැම රටක නලු නිලියන් යනු මිල මුදල් යහමින් ඇති   , විලාසිතා සඳහා ලක්ශ ගණනින් වැය කරන අය වේ නමුත් අපෙ රටේ නිලියන් රු 12 500 ක ඇදුම් හොරෙන් ගෙනගොස් මාට්ටු වන අතර ඇතමුන් හොර වීසා සාදා මාට්ටුවේ
----------------------------------------------------------------------------------
තවත් බොහෝ කණපිට ගැසීම් තිබුනත් මට මතකයට අවේ මේ ටික විතරයි , මට් මේ ලිපිය ලියන්න හිතුනෙ එජාපය සූදු පනතට විරුද්ධ වෙනව දැක්කාම . ඔබට මතක තව ඒව තියනව නම් කමෙන්ටුවක් 
විදිහට දාන්න    ආ......... තව එකක් ලෝකෙ අනික් රටවල යට පැත්ත උල් වෙත්දි අපෙ රටේ විතරක්  උඩ පැත්ත උල් ..හි හි හි

ගල් වෙනුවට මල්! .......බුවාගෙන් දෙරණට මල් මිටක්

දේශපාලන හෝ සමාජීය බ්ලොග් ලියන බොහෝ දෙනා , බොහෝ විට ලියන්නේ අඩු පාඩු හෝ විවේචනයි සැබවින්ම බොහෝ දේවල් කණපිට ගසා ඇති රටක වෙන ලියන්නට දෙයක්ද නොමැත . බුවාගේ කෙටි කාලීන බ්ලොග් ජීවිතය තුලත් එක් පෝස්ටයක් හැරුණු විට සියල්ලම ලියා ඇත්තේ විවේචනයි.


නමුත් අද ලියන්නට යන්නේ නම් එවැන්නක් නොවේ . මිට කලින් පෝස්ටය ලියුවේ මාධ්‍ය ආයතනයක තකතීරු කමක් ගැනයි අද ලියන්නට යන්නේ මාධ්‍ය ආයතනයක් විසින් පැවැත්වූ අපූරු වැඩසටහනක් ගැනයි


ඒ Derana Music Video Awards 2010 වැඩසටහනයි.සරලම කතන්දරය නම් ප්‍රේක්ෂකයින්ගේ ඇස කණ  පිනවීමේ කාර්ය්‍යය ඉතා මැනවින්  ඉටු කිරීමට දෙරණට හැකිවු බවයි. සැබවින්ම රූපවාහිනි වැඩසටහනක කාර්යය ද එය වන අතර කලාව අනුභව නොකර හා ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොකර එය සිදු කිරීමද ඉතා වැදගත්ය . ඒ අයුරින් බලන විට මේ වැඩසටන අතිශයින් සාර්ථක වුවක් බව මගේ හැඟීමයි . රතු පලස් වැඩසටහනේ ආරම්භක අවස්ථාවේ නිවේදිකාව දැක්වූ දුර්වලතාවයන් හා ඇතැම් සුලු තාක්ෂණික දෝශත් වේදිකාවේ ප්‍රමාණයත් හැරුණු විට ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ප්‍රධානෝත්සවයක දක්නට ලැබෙන අංග රාශියක් මෙහි විය . වේදිකාව තරමක් ප්‍රමාණයෙන් කුඩා වුවත් විශිෂ්ට නිර්මාණයක් වූ අතර ආලෝකකරණයද සුවිශේෂීය . විනිශ්චය මණ්ඩලය සැබවින්ම ඒ සඳහා වඩාත්ම සුදුස්සන් වු බව ඔවුනගේ නිර්මාණ හා ක්ෂේත්‍රයේ අත්දැකීම වලින් පමණක් නොව මෙහිදි ලබා දුන් විනිශ්චයන්ගෙන්ද මනාව පැහැදිලිවේ.වරින් වර එකතුව තිබු නාට්‍යමය අංග ( ආරම්භයේ ගැටුම , ඉරාජ් ගෙ ගීතය අතර සිද්ධිය .....ආදී) ත් , තීරණ ප්‍රකාශයට පත් කිරීමට පැමිනි අයගේ භූමිකාවනුත් වැඩසටහනට අපූර්වත්වයක් එක් කලේය .
ජනප්‍රියම වීඩියෝව සඳහා කවුරුත් ගල් මුල් නොගැසූ අතර වැඩසටහන හොදින් නිමා විය .සිතට මිහිරක් ගෙනදුන් වැඩසටහනක් වෙනුවෙන් දෙරණ ස්තුතිවන්ත වන අතරම අනාගතය සඳහා සුභ පතන්නටද බුවා කැමතිය . නමුත් කණගාටුවට කරුණක් ඇත ඒ මිට වඩා බොහෝ අලංකාරවත්ව කල හැකි ලංකාවේ සිනමා හා ටෙලි සම්මාන උලෙල වල් මෙහි අහලකටවත් ගත හැකි තත්වයක නොපැවතීමයි . අවසාන වශයෙන් අනර්කලි ආකර්ෂා ගේ භූමිකාවක් තැනට ගැලපෙන ලෙස යෙදුනු මා දුටු පලමු අවස්ථාව මෙය බවද කිව යුතුමය

ස්වර්ණවාහිනියේ විලි ලැජ්ජා නැති අභිමානය

ස්වර්ණවාහිනියේ මේගා තරු තේරීම අවසන් ය . අවසන්ය කිවාට මට නම් ෂුවර්ම නැත. මොකද මෙතෙක් පැවති රියලිටි වැඩසටහන් අවසන් වූයේ ප්‍රීති ගෝෂා මධ්‍යයේ වුවත් මෙගා තරු තෙරීම අවසන් වුයේ "Megastar වැඩසටහන අවසන් බව කරුනාවෙන් සලකන්න " කියමින්ය . ගුටි කෙලියක් යන බව පෙනුනත් මොකා කොයිකාට ගහනවාද කියාවත් බලාගන්න හැකියාවක් ලැබුනේ නැත
ඇතැම් විට අවසන් තීරණයෙන් උද්දාමයට පත් ප්‍රේක්ෂක ජනතාව කැමරා පොල්ලට 2 ක් වැඩැම්මවූවාද විය හැක නැතිනම් ගුටි කෙලිය බලන්න බැරි තරම් කැත වූවාද විය හැකිය.
කොයිහැටි වෙතත් ලාංකීය රියලිටි වැඩසටහන් ඉතිහාසයේ පලමු වරට ජයග්‍රාහකයාට තම ත්‍යාග හරි හැටි ලබාගන්නටත් ඒවා ලබාගෙන ජනතාවට ආචාර කරන්නටත්  නොහැකි වූ පලමු වැඩසටහන මෙයය . අනික් අතට එහෙම වීම සාධාරණය . මොකද සමස්ථ විනිශ්චය මණ්ඩලයත්, (කණ ඇහෙන ) ඕනිම පුද්ගලයෙකුත් අනුමත කරන්නාවු තීරණය ක් වෙනස් වූ පලමු අවස්ථාවත් මෙයය.


 කෙසේ නමුත් ශ්‍රි ලාංකීය අභිමානය යැයි කියා ගන්නා ස්වර්ණවාහිනිය ලාංකීය ප්‍රේක්ෂකයාට කල අවමානය නම්  සුලු පටු නැත ඒ සමඟම තමන්ට කරගත් " චාටර" ය  එසේමය. එනිසා ඔවුන් වැඩ සටහන අවසන් කිරීමට යොදා ගත් වාක්‍ය කණ්ඩයට යටින්


"මෙතෙක් කල් megastar  වැඩසටහන බැලු ඔබ ගොනාට ඇන්දුන බවත් වැඩසටහන කල අපි නප්පියටම "කිච" වූ බවත් කරුණාවෙන් සලකන්න"


යන වාක්‍ය කණ්ඩයත් විකාශය කලා නම් ඉතා අගනේය.


නමුත් මීට වසර කිහිපයකට පෙර යම් තාක් දුරකට මධ්‍යස්ථ හා කැතක් නැතුව බැලිය හැකිව තිබු ස්වර්ණවාහිනිය මේ තරම් පහත් තත්වයට ඇද දැමු වර්ථමාන  වැඩසටහන් අධ්‍යක්ෂක වරයාට හක්කට පහරක් එල්ල කරගන්නට ප්‍රේක්ෂකයෙකුට අද අවස්තාවක් ලැබී තිබුන හොත් නම් රටේ ප්‍රේක්ෂක ජනතාවගේ අභිමානය  යන්තම් හෝ බේරෙන බව නම් කිව යුතුමය.


අවසන් වශයෙන් සැබැ දක්ෂයා වු දයාසිරිටත්,වේදිකාව අරක් ගත් ප්‍රභල හඩක් වු සුරෙශ් ටත් . ගායනයේ දුර්වලතා ඇතත් අපූරු කටහඩක් හිමි උපේක්ෂාටත් සුභ පතන්නට බුවා කැමතිය ! .

ජාවා මගඩි ,IT සහ තරුණ පරපුර

IJTS ආයතනයේ හිමිකරු විසින් කරගෙන යනු ලබන්නේ යැයි කියනු ලබන වංචනික ක්‍රියාමාර්ග පිලිබඳව සිංහල බ්ලොග් අවකාශය තුල මේ දිනවල බහුලව දක්නට ලැබේ.බුවාට මේ ආයතනය ගැන දැනගන්නට ලැබෙන්නේ මීට වසර 1 1/2 කට පමණ පෙර තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට පිවිසීමට සූදානම් වන විටයි.වාසනාවකට කේෂෙත්‍රයේ පලපුරුදු කිහිප දෙනෙකු ගෙන් ලැබුනු උපදෙස් නිසා බුවා IJTS යන්නේ නැත . නමුත් අදාල ආයතනය කතන්දරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන්නේත් නැත . බෝහෝ දිනවල ඉරිදා පුවත් පත් වල රු50,000 වැටුප් ගැනීමට කල යුතු යැයි කියන ඔවුන්ගේ පාඨමාලාව පිලිබඳ දැනිවීම ඊට එක් හේතුවකි,අනික් හේතුව නම් IJTS හි ඉගෙන ගත් අය නොයෙකුත් අවස්ථාවල විවිධ ස්ථාන වලදී මුන ගැසීමයි.මේ හමුවීම් නිසා බුවා තුල මුලින්ම ඇතිවන්නේ අදාල ආයතනය ගැන දැඩි අප්‍රසාදයකි. ඒ ඔවුන් විසින් සිසුන් තුලට ඔබ්බවා ඇති සම්පූර්ණයෙන්ම වැරදි මතවාද නිසාවෙනි .කාලයත් සමඟ IJTS  හි සිදුවු අලුත් වෙනස් කම් ද සමඟ ආයතනය පිලිබඳ සැකයක්ද බුවා තුල ඇතිවේ .මේ ගැන බ්ලොග් සටහනක් දමන්නට බොහෝ සේ සිත් වුවත් කාරණා දෙකක් නිසා එය සිදු නොවේ
පලමුවැන්න නම් ජාවා පමණක් දත් අදාල ආයතනයේ අති පණ්ඩිත සිසුන් විසින් නැගිය හැකිව තිබු ජාවා තර්ක වලට ජාවා වලින්ම පිලිතුරු දීමට තරම් ජාවා දැනුමක් බුවා තුල නොවීමයි දෙවැන්න යම් වංචාවක් සිදුවන බව දැනුනත් එය ඔප්පු කිරීමේ සාධක බුවා සතුව නොවීමයි.
උක්ත කාරණා දෙකම සපුරාලන බ්ලොග් අඩවියක් බුවා විසින් අහම්ඹකින් මෙන් දකින ලද්දේ අතරතුරයි .පහත සබැඳියෙන් දැක්වෙනනේ එම බ්ලොගයයි




http://ranarala.blogspot.com/


එහි රචකයා ජාවා පිලිබඳ හසල දැනුමක් ඇත්තෙක් බව පෙනෙන අතර ආයතනයේ වංචනික ක්‍රියා පිලිබඳව මැනවින් සාධක සහිතව හෙලිදරව් කර ඇත.
මේ ගැන කතා කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්දැයි ඇතමෙකුට සිතෙනු ඇත . සැබවිනම දැනටමත් අදාල ආයතනයේ මුලාවට අසුවී ඇති අයට නම් Sorry  කියනවට වඩා දෙයක් අපට කියන්නට නැත .නමුත් තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයට යොමු වන්නට සිටින තරුණ පරපුර මේ මගඩි වලින් බේරා ගත යුතුය 

අප රටට තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ හොඳ ඉදිරි ගමනක් පෙනෙන්නට තිබෙන අතර රජයේ ඉලක්කගත වැඩ පිලිවෙලවල් තුලත් මේ ක්ෂෙත්‍රය ඉදිරියෙන් තිබෙන පෙනිගොස් තිබේ . එහි වාසිය හිමිවිය යුත්තේ අසරණ දරුවන් දෙමව්පියන් මුලාකරන මෙවැනි හොරුන්ට නොව රටේ අනාගත පරපුරටයි.රටේ තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රෙයේ උන්නතියත් , වංචනිකයන්ට මුලාවූවන් වෙනුවට සැබෑ වෘත්තීය ශිල්පීන් බිහිවනු දැකීමත් ඔබගේ බලාපොරොත්තුව නම් කරුණාකර ඉහත සබැඳියේ අති ලිපි කියවා බලන්න ඒවා සත්‍යය යැයි හැඟෙන්නේ නම් ඒ පිලිබඳ    ඔබගේ මිතුරන් දැනුවත් කරන්න ඒ සඳහා පහත Facebook pages දෙකද ඔබට භාවිතා කල හැක
අදාල ආයතනය විසින් සිසුන් මත පටවා ඇති මතවාද වල සාවද්‍ය බාවයත් ක්ෂේත්‍රයට එන්නට සිටින අයට උපදෙස් ටිකකුත් ඊලඟ ලිපියෙන් ඉදිරිපත්  කිරීමට බලාපොරොත්තු වෙමි 



01) http://www.facebook.com/ijts.scam
02) http://www.facebook.com/pages/It-Force-against-IJTS-Hora-Degree/153428271363283?v=wall

[ Disclaimer - 

This article is written based on common sense regarding to the relevant scenario and there is No intend of insulting a   specific person or institution But to give some information to younger IT generation of Sri lanka

මෙම ලිපිය අදාල කාරණය පිලිබඳ පොදු ඥානය පදනම් කරගෙන රචනා කොට ඇති අතර යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට අපහාස කිරීමක් අදහස් නොකරන අතර තරුණ පරපුරට තොරතුරු ලබාදීම පමණක් අදහස් කෙරේ ]

මංජුගේ ජයග්‍රනය ගැන එක එක අය කියන්න ඉඩ ඇති කතා

මංජු වන්නිආරච්චි සහෝදරයාගේ රන් පදක්කම් ජයග්‍රනය ගැන බුවා මුලු හදවතින්ම සතුටු වෙනව වගේම මංජු සහෝදරයට මුලු හදවතින්ම සුභ පතනවා!...
මේ ජයග්‍රහනය අපේ රටේ ලොකු ලොකු කට්ටිය කියන්න ඉඩ තියන කතා ගැනයි මේ සටහන


අතිගරු ජනාධිපතිතුමා - 30 වසරක යුධ ශාපය අවසන්ව අප මවුබිම ආසියාවේ ආශ්චර්යය බවට පත් වෙමින් තිබෙන්නාවූ බවට කදිම නිදසුනක් ලෙස මේ ජයග්‍රහනය දකින්න පුලුවන්


ගරු අග්‍රාමාත්‍යතුමා - 30 වසරක යුධ ශාපය අවසන් අප ශ්‍රේෂඨ මවුබිමේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ අතීත අභිමානය යලි සිහි ගන්වන්නට මේ ජයග්‍රහනය සමත්ව ඇත...........


අමාත්‍ය විමල් වීරවන්ශ - 30 වසරක යුධ ශාපයෙන් මිදී සංවර්ධනයේ අරුණලු දකිමින් තිබෙන අප මාතෘ භූමිය අධිරාජ්‍යවාදී ඊනියා කුමන්ත්‍රන වලින් බේරා ගැනීමේ පලමු වෙඩි මුරය අද නව දිල්ලියේදී සටහන් වුණා


අමාත්‍ය පාඨලී චම්පික රණවක - දක්ෂින ආසියා භුමිය තුලදිම බටහිර බලවේග විසින් මේ ලැබූ පරාජය චීනය හා ඉන්දියාව මුල් කරගත් අනාගත ලෝක ආර්ථික සංග්‍රාමයේ ශ්‍රි ලාංකිය සලකුන සනිටුහක් කරවන්නකි


ගරු විපක්ෂ නායක - ප්‍රජාතාන්ත්‍රවදය උදෙසා සටනේදී මංජුල තේ බිව්වේ නැ, බිව්වෙ කලු කෝපි විතරයි. එකත් සීනිත් නැතුව. කොළඹ නගර සභාව අධිකාරියක් කරවීම ගැන ජනතාව දැනුවත් විය යුතුයි , එහිදී අපි මංජුල වෙනුවෙන් 18 වන සංශෝධනයෙන් අහිමි කල ජනත පරමාධිපත්‍යය නැවත ස්ථාපනය කල යුතු වෙනවා


ජනතා විමුක්ති පෙරමුන - ශ්‍රේෂ්ට යුධ විරුවා සිරගත කරමින් රජපක්ෂ සහෝදර සමාගම කැලැ නිතිය රට තුල ක්‍රියාත්මක කරමින් සිටිනා මොහොතක ජනතාවට මෙවැනි ජයග්‍රහනයන් ගැන සතුටුවීමේ හැකියාවක් නැහැ .අපි ඊට විරුද්ධ සියලු  බලවේග ඒක රාශි කරගත් පුලුල් ජනතා ව්‍යාපාරයකට යැමට බලාපොරොත්තු වෙනවා


සරත් ෆොන්සේකා -  මේ ජයග්‍රහ _ _ _ _මම _ _ _ මේ ගාඩ් එක කියල බූරුවො ටිකක් දාලා_ _ _ _ හරක්_ _ _


පා.ම සජිත් ප්‍රේමදාස - ලංකාවේ පලාත් 9 ක ,දිස්ත්‍රික 22 ක ,ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ........... ක,ග්‍රාම සේවා වසම් ............ක ,ජීවත් වන ලක්ෂ 200 ක් වූ ජනතාව සතුටුවන මේ මොහොතේ රෙද්ද බැනියම අදින  ජනතාවට සැමදා මෙලෙස සතුටු විය හැකි යුගයක් උදා කල හැක්කේ රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්තියෙන් පමණක් බවත් කියන්න කැමතියි


වික්‍රම බාහු කරුණාරත්න - ගෝලීය අධිරාජ්‍ය වාදය තුල බටහිර හාම්පුතුන් විසින් බලහත් කාරයෙන් අප වෙත පටවන ලද ක්‍රිඩා වලින් ජයග්‍රහනය කිරීම සැබැ ජයග්‍රහනයක් නොවේ

( මේවා අදාල පුද්ගලයින් විසින් සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනු ප්‍රකාශ නොවන අතර .සාහිත්‍යමය අවශ්‍යතාවයන් මත නිර්මාණය කෙරුන එවා බව කරුණාවෙන් සලකන්න)

මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි(මාසෙකට විතරයි )

මාසෙක කාලෙකට සමු ගන්න හදන්නේ විභාග කටයුත්තක් නිසා ,ඩෙංගු ,මීඋණ ,සූකර උණ වගෙ දෙයකට ගොදුරු නූනොත් මාසෙකින් හමුවෙමු. ඊට පස්සෙ ටිකක් විතර විවේකි කාලයක් තියන නිසා වැදගත් මොනව හරි ලියන්න පුලුවන් වෙයි .මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි(මාසෙකට විතරයි )

ප.ලි- මම ගිය අතරේ අපේ රටේ ප්‍රධාන පක්ෂෙක නායකතුමෙකුටත් යන්නම යන්න වෙන්නත් ඉඩ තියනවා

සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්න .

මේ පොඩි පොස්ට් එක ලියන්න හිතුනේ අද අනුර කුමාර උන්නැහෙ කියපු කතාවක් දැකලා( JVP කට්ටිය කියන එවා මම එච්චර අනුමත නොකලට මේ කතාව නම් එල )
කථාව තමයි ගොඩ දෙනෙක් අනාගත එජාප නායකත්වය විදිහට දකින සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වල ස්වභාවය. මට අනුර කුමාර කියපු විදිහටම මතක නැ .  මේක තමා දල අදහස

" තිස්සමහරාම ආසනයේ_ _ _ _ _ _ _ කොට්ටාශේ පදිංචි සීලවති මැණිකේගේ වත්තට හරක් දෙන්නෙක් පැනල මිරිස් පැල වගයක් කාල.. මිරිස් පැල කීයක් කාලද? එකට වන්දි දෙන්නේ කවදාද?"

ඔන්න ඔහොම ඒවලු සජිත් මහත්තය අහන්නේ .... බලාගෙන ගියාම ඇත්ත තමා . රටේ මිනිස්සුන්ට , රටට බලපාන වැදගත් කාරණා පසක තිබියදී එයා අහන්නේ ඔය වගේ ප්‍රශ්න තමා .
ඉතින් ගැටලුව තියෙන්නෙ ගොඩක් දෙනා බලා ඉන්න විදිහට මෙයා එජාපයේ නායකත්වයට සුදුසුද කියන එකයි. මේ ප්‍රශ්න වලට අමතරව එයාගෙ කතා විලාසය , කතා කරන දේවල් ,ප්‍රතිපත්ති ඇතුලු තවත් බොහෝ දේ දැක්කම මට නම් හිතෙන්නෙ එජාප නායකත්වයට මෙයා තවම නම් සුදුසු කම් පෙන්වා නැති බවයි.නිකමට වගේ හැමෝගෙන්ම බැනුම් අහන රනිල්,නිදිමත කරු,සජිත් ගෙ ටයි කෝට් කතාව නිසා රෙද්දට බැස්ස
රවි( බූරු  කතා නොකියා ඉන්න ව නම්),එතකොට රෝසි නෝනා වගේ අයත් එක්ක මෙයාව සංසන්දනය කරල බලන්න . මෙයාගෙ හැසිරීම් රටාව නායකත්වයකට කොච්චර නොගැලපෙනවද කියල පෙනෙයි.
ඊලඟට මෙයාට තරඟ වදින්න වෙන මහරජතුමා,බැසිල් ,මෛත්‍රිපාල වගෙ අයත් එක්කත් සංසන්දනය කරල බලන්න .
ඒ විතරක් නෙවෙයි පාර්ලිමෙන්තුවට අද ඊයෙ ආපු නාමල් ,දිලුම් වගෙ චරිතත් මෙයාට වඩා හොඳ දේශපාලන කතිකාවක ඉන්නවා..
කොහොම වෙතත් එජාප නායකයව ඒ අය තෝර ගනියි නෙ. නමුත් අපිට වැදගත් වෙන රටේ නායකත්වය ගැන සැලකුවාම නම් ,මහ රජතුමාට හෝ පිස්සු කෙලින ඇමතිලට හෝ විකල්පයක් වෙන්න පුලුවන් බවක් නම් සජිත් තාම පෙන්නලා නෑ කියන එකයි මගේ මතය!

මිනිසුනේ......... ඒ ගස් බැන්ඳේ අපේම එකෙකි !

ඩෙංගු මර්ධන වැඩ පිලිවෙලට දායක නොවුණු "පාපතර " රාජ්‍ය නිලධරයෙකු ගස් බැඳීමේ නූතන "දුටු ගැමුනු "ගේ මහා වීරක්‍රියාව සිදු කර පැය 24 කටත්  වඩා ගතවී ඇත.එම නිලධාරියා තමන් විසින් ගස් බැඳ ගත්තේ යැයි ලිපියක් ද "දුටු ගැමුණු " විසින් ඉදිරි පත් කර ඇත (පසු ගිය කාලයේ අප රටෙ සිදුවූ තමා විසින් ගිනි තබා ගැනීම්,පිහියෙන් ඇන ගැනීම් ආදිය ගැන සලකන විට මෙයද වෙන්න බැරි නැත )
නමුත් මෙ කියන්නට යන්නේ මෙ මහා වීර ක්‍රියාව ගැන මට අසන්නට දකින්නට ලැබුනු මහජන අදහස් ගැනය .
" අඩෝ අර යකා මරු වැඩක් කරලනෙ?"
"කවුද?"
"_ _ _ _  _ _ _ බන්"
"ඒ මොකක්ද?"
මේ මම මේ ගැන මුලින්ම දැන ගත් අවස්ථාවයි ඒ ඊයේ හැන්දෑවේ දුරකතනයෙන් මිතුරෙකු ගෙනි ,උග්‍ර UNP කාරයෙකු වූ මිතුරාට නම් මාර  චූන් ය !
ඉන් පසු TV  පොල්ලේ බොහෝ නාලිකාවන් හරහා විවිධ කැමරා කෝණ වලින් ගස් බැඳීම දුටුවෙමි

අද උදේ බස් හෝල්ටයට ගියේ නගරට යාමටය , ඒ උදේ 9.30 ට පමණ ය .ත්‍රි වීලයට පැට්‍රෝල් ගෙන ඒමට කෑනයක් අතින් ගත් ත්‍රිවීල් මල්ලිත් A/L කර Campus එනකන් ගෙදර ඉන්න එකෙකුත් සිද්ධිය සමාලෝචනය කරමින් සිටියි . උන් දෙන්නාට නම් මෙය සියවසේ විශාලතම වීර වික්‍රමයයි . වැඩ නොකරන සියලු නිලධාරීන් ගස් බැඳීම උන් දෙන්නාගේ අදහසයි. ගමේ සිටින අහිංසක සමෘද්ධි නිලධාරියාත් ගස් බැඳීමට මුන් දෙන්නා සමඟ එකතු වීමට සිදුවුවහොත් කියා මම මදක් ශෙප් උනෙමි
උන් දෙන්නා ගෙන් ඈත් වීමට කියා බස් රථයට ගොඩ වූ පසු රියදුරු අසුන වෙත ගියෙමි.රියදුරාද "ගස් තියරිය" අනුමත කරන්නෙකි. සිය බිරිඳ ගේ මාරුවක දි තමන්ට පාට් එක දැමු කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් විෂයෙහි "ගස් තියරිය" ක්‍රියාත්මක කිරීම ඔහුගේ අදහසයි ,මේ සම්බන්ධව ඉදිරි අසුනේ සිටි මඟියා සමඟ කතිකාවක් පටන් ගෙන තිබුනනි එහෙත් ඒ මඟියා  රියදුරාගේ අදහස අනුමත නොකරන බව මුහුනෙන් ම පෙනුනත්.රියදුරා සමඟ වාදයට යාම ඇඟට ගුන නොවන නිසාදෝ හූ මිටි තබමින් සිටියේය . නමුත් මට සිතුනේ බැරිවෙලාවත්  ගස් තියරිය දිගටම ක්‍රියාත්මක උනහොත් මඟී ජනතාව විසින් අදාල රියදුරාවත් ගසක් බැරි නම් අඩු තරමේ සුක්කානමේ වත් ගැට ගසනු ඇති බවයි ,මිනිහාගේ කැරැට්ටුව ඒ තරමටම හොඳය !

නගරය තුලදිත් මේ සිද්ධිය ගැන නොයෙක් අකාරයේ අදහස් අසන්නට ලැබුනි . බොහෝ දෙනෙක් ගෙන් විවෙචනාත්මක අදහස් ලැබුනත් ,"නියම වැඩේ " .. "මිනිහ විතරයි කියන දෙයක් එ විදිහට කරන්නේ.." "ඔහොම නැතුව මේ  රට හදන්න බැ"..."අනික් ඇමතිලත් ඔහොම වැඩ කරනව නම් ...." වැනි අදහස් දක්වන්ද සැලකිය යුතු පිරිසක් සිටියහ .ඒ සමඟම මානව හිමිකම් .. ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ද කරමින් "දේශද්‍රෝහි ප්‍රකාශ" නිකුත් කරන්නන් ද සිටියහ  .
හවස් කාලයේදි මුණ ගැසුන ඇතැම් රජයේ සේවකයන් පැවසූ පරිදි "ගස් බැඳීම " අනුමත කරමින් අදහස් දැක්වූ රජයේ සේවකයින් ද සිටී.
ඕනෑම් දෙයක් ගැන තමන් කැමති මතයක් දැරීම පුද්ගල අයිතියක් වුවත් ,"ගස් බැඳීම " ට පක්ෂව කථා කරන බොහෝ දෙනෙක් අමතක කරන එක් දෙයක් වේ . එනම් මේ ගස් බැන්ඳේ "අපේම එකෙක්" බවයි !

අප වැනිම සාමාන්‍ය මිනිසෙකු වු ඔහුට තම අසනීප වු දරුවාට බෙහෙත් ටික ගැනීමට රජයේ රෝහලක පැය ගණනක් රස්තියාදුවීමට සිදුවීම නිසා ඩෙංගු මර්ධනයට පැමිණීමට නොහැකි වූවා විය හැක . ඇමතිවරයා කියු පරදි දුරකථන ඇමතුමක් දීමට දුරකථනයේ මුදල් නොතිබුනා විය හැක, නැතහොත බිල ගෙවීම පරක්කු විම නිස උපහාර connection එක විසන්ධි කරලා විය හැක.නැති නම් ඔහු සැබවින්ම වරද කරුවෙක් විය හැක , එහෙත් මානව අයිතීන් ,නීතිය, සාරධර්ම සියල්ලටම පිටින් ඔහුව "ගස් බැඳීමට " කිසිවෙකුටත් අයිතියක් නැත .කණගාටුවට කරුණ එවන් දෙයකදි අපි අපේ එකාටම හිනාවීමය .අපේ එකාටම ගැරහීමය ,සියලු රජයේ සේවකයින්  "ගස් බැන්ඳා" හා සමාන සිද්ධියකදී සමහර රජයේ සේවකයින් උන්ගෙ පැත්තම ගැනීමය .

සිය"වීර" ක්‍රියාවෙන් පසු ඇමතිවරයා දේශපාලන කථාවක් ද කලේය . මට මුලු කථාව මතක නැතත් එය නිදහස් පක්ෂය සම්බන්ධ වුවකි . අප සියල්ලන්ම දන්නා පරිදි බොහෝ සමෘද්ධි නිලධාරීන්ද නිදහස් පක්ෂයට දරදිය ඇද්ද වුන්ය ,එසේ නම් තමන් "ගස් බැඳගත්තේ " තමන් ගේම එකෙකු විය හැකි බව ඔලුවක් ඇතුව කල්පනා කලහොත් ඇමති වරයාටම වැටහෙනු ඇත( ඔලුවක් ඇතිනම් පමණක් )

ඉතින් මිනිසුනේ අපටත් සිනාසිය. හැක ඒ යම් දිනක ජනතාව එකතු වී ඇමතිවරයෙක්/මන්ත්‍රිවරයෙක් / අඩුමතරමේ විපක්ෂ මන්ත්‍රි කෙනෙක් වත් ගස් බැන්ඳ දිනකය !    ( ලංකාවේ මෙය සිහිනයක් පමණී )            

ප.ලි - 
01) සියලු සමෘද්ධි නියාමකයින් ඩෙංගු මර්ධනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබුනි .සමහර විට ඔවුනටත් ඉදිරියෙදී "ගස්" දඩුවම ක්‍රියාත්මක කරනු ඇත
ඔබ මහ මග යන විට ගසක් බැඳ ඇති මිනිසෙක් දුටුව හොත් ඒ සමෘද්ධි නියාමකයෙකු විය හැකි බව මතක තබා ගන්න

 02) හෙට දිනයේ මධ්‍ය හමුවක් පවත්වා තමා විසින් කැමත්තෙන් ගස් බැඳ ගත් බව නිලධාරියා විසින් පිලි ගැනීමද සිදුවිය හැක
මොකද?
ලංකාවේ ඔහොම තමයි I DONT KNOW WHY !!!!!!!!!!

රියෙන්සි,එජාපය සහ අපි

ලංකා ඉතිහාසයෙ පලමු වතාවට පක්ෂයක් වෙනුවෙන් මිනිසෙක් සිය දිවි හානි කරගත්තේය.නෛතිකව බැලූ විට ඔහුගේ ක්‍රියාව වරදක් වුවත් ඔහු එමගින් සිය පක්ෂයට දුන් පණිවුඩය එජාපයට මෙන්ම රටටද ඉතා වැදගත් ය .
දිගින් දිගටම අන්ත පරාජයන්ට පත්වූ එජාපයට ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව තදින්ම තිබුනත් ප්‍රතිසංවිධානය නමින් මේ වන විට සිදුවෙමින් පවතින්නේ කල්ලි බෙදී  එකිනෙකාට බැන ගැනීමත් නායකත්වය වෙනස් කිරීමට දරන් උත්සහයත් , වර්ථමාන නායකත්වය ඉන් බේරීමට කට්ටි පැනීමත්ය .පසු ගිය කාලය පුරාවට රටේ උද්ගතවූ  දේශපාලනමය  අවස්ථාවන් හිදී එජාපයෙන් පරස්පර අදහස් කිහිපයක් ඉදිරි පත්වීම එජාපයේ බෙදීමට කදිම නිදසුනකි.එක්ව මිස වෙන් වෙන් ව හිඳ ලැබිය හැකි ජයක් නොමැතිය යන හෝඩි පන්තියේ සිද්ධාන්තය තම පක්ෂයේ වග කිවයුතු  නායකයින්ට නොවැටහීම රියෙන්සි අල්ගම මහතා කලකිරවන්නට ඇත.
එජාපය බෙදී වෙන් වී යැම රජයට නම් සතුටට කරුණක් වන මුත් රටේ සාමාන්‍ය ජනතාවට නම් එය සුභවාදී කාර්ණයක් නොවේ , මන්ද යත් විකල්ප  බලවේගයක් නොමැති තැන ඕනිම රජයක් පිස්සු කෙලිනා බැවිනි.නමුත් රජයට විකල්පයක් වනව තබා එක මතයක් දැරීමට තරම් වත් එකඟතාවයක් එජාපය තුල නොමැති වීම සැබවින්ම කණගාටුවට කරුණකි .

බොහෝ එජාප පාක්ෂික යින් මෙන්ම සාමාන්‍ය ජනතාවත් එජාපයේ අර්බුදයට විසඳුම ලෙස දකින්නේ වර්ථමාන නායකයා එලවා දමා නව නායකත් වයක් පත් කර ගැනීමයි. වර්ථමාන එජාප නායකයාගේ බොහෝ අඩුපාඩු ඇතත් ඔහු වෙනුවට බොහෝ දෙනා සිතන විකල්පය එජාපයේ නායකත්වයට හෝ රටේ නායකත්වයට කෙතරම් සුදුසු කමක් මේ වන විට දක්වා ඇතිද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි . හම්බන්තොට කැඩුනු පාරකට වඩා වැඩි දෙයක් රජයෙන් විමසීමට නොහැකි/උනන්දුවක් නොමැති ඔහු ජාත්‍යන්තර කටයුතු මෙන්ම එජාපයේ හදවත බඳු දක්ෂිණාන්ශික ආර්ථික ප්‍රතිපත්තිය පිලිබඳ දරන මතය එජාප රජයකින් ජනතාව බලාපොරොත්තු වන හා ජනතාවට ලැබිය යුතු වාසීන් නොලැබී යාමට හේතුවක් විය හැකිය. මෙම තත්වය වඩාත් බරපතල වන්නේ මේ වන විටත් එජාපයේ අත්දැකීම් බහුල බොහෝ දෙනෙක් රජය සමඟ එකතු වී සිටීම නිසයි.රනිල් හා කරු ඉවත්ව ගිය පසු ඉතිරි වන්නේ තරුණ කණ්ඩායමක් සමඟ මුසුවු රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් අඩු ජේෂ්ටයින් පිරිසකි.
සැබවින්ම එය ආධුනික කණ්ඩායමක් හා පලාත් කණ්ඩායම් වල ක්‍රිඩකයින් පිරිසක්, ආධුනික නායකත්වයක් යටතේ ලෝක කුසලාන තරගයකට ‍යැව්වා හා සමාන විය හැක.සහජ දක්ෂතාවක් හෝ,කනා පල්ලමක් හරි ගියොත් විනා එවන් කණ්ඩයමක් සාර්ථකත්වයට පත් වීමට ඇති ඉඩ අල්පය. නමුත් රට,ජනතාව මෙන්ම එජාපයත් එවන් අවධානමකට ලක් කල  යුතු නැත . සියලු දෙනා එක්වී තම පක්ෂය ගොඩනඟා ගැනීම, තම තමන් ගේ අඩු පාඩු කම් සකස් කර ගැනීම පක්ෂය වෙනුවෙන් මිය ගිය රියෙන්සි මහතාගේ මෙන්ම තිස් ලක්ෂයකට අධික එජාප පාක්ෂිකයින්ගේ  බලාපොරොත්තු  ඉටුකරලීමක් වන අතර රටේ බහුතර ජනතාවකගේ හිත සුව පිනිසද හේතු වනු ඇත.එසෙත් නොමැතිව දශක දෙකකට පෙර අවසන් වු, අදට කිසිසේත් නොගැලපෙන ප්‍රේමදාස යුගයක් යලි ගෙන එන්නට තැත් කිරීම රටට වත් එජාපයටවත් වැඩදායක නෝවේ !

ආදරණීය මුරලි (He is a legend and He is the BEST)

ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය. විශිෂ්ටයෙකු විලසින්ම සමු ගත්තේ ය. තම අවසන් තරඟය සඳහා කිසිවෙකුත් බාර නොගන්නා තරමේ අභියෝගයක් කරට ගත් මුරලි, එය ජයගන්නේ තමා විශිෂ්ටතමයා බව යලිත් ලෝකයා හමුවේ තහවුරු කරමිනි  .
ටෙස්ට් පිටියට සමු දුන්නත් පන්දු වාර 50  T20 හා  IPL තරඟ වලදී ඔබගේ දක්ෂතා දැකගන්නට ලැබීම ක්‍රීඩා ලෝලී සැමගේ බලාපොරොත්තුවයි . මවු බිමට සැබෑ අලෝකයක් ගෙන දුන් ආදරණීය ක්‍රිඩකයානෙනි ඔබට මාගේ උත්තමාචාරය !

Photo From - dhaka-pic.blogspot.com

අහෝ විමල්!


බඩ ගින්න වැඩි කමට මහරජතුමා "මූන්" ලෙසට පෙනුණු නිසා දෝ , මහා දේශප්‍රේමී විමල් මැතිදුන් සිය මාරාන්තික උපවාසය මැරෙනවා තියා ,මැරෙන්න හිතන්නත් කලින් අවසන් කලේය.ජනතවගේ පැත්තෙන් එය ඉතා යහපත් වුවත් විමලයා ගැන නම් දුකය .බඩ ගින්න කෙසේ වෙතත් මේ යකා දවස් 2ක් තුම්මුල්ලේ බුදිය ගත් එකට වත් වැඩක් නැත .මහරජ දුටු විගස සියල්ල අවසන්ය.මා කලින් බ්ලොග අවසන් කලේ විමල් ගැන නිදහස් පක්ෂය අවධානයෙන් සිටිය යුතු යැයි පවසමිනි , ඇතැම් විට මහරජ තුමාටත් එසේ සිතුනා විය හැක(රජයේ ඇතැම් අමත්‍ය වරුන් උපවසය  ගැන ප්‍රසාදයක් නොදක්වන බවටද මාධ්‍ය වාර්ථා පල විනි )
එසේ නොමැතිව මෙය අයවැය අමතක කරවීමට රඟදැක් වූවක් නම් විමල් යනු බොක්කෙන්ම රාජපක්ෂියෙකි !

ඡයාරූපය lanka thruth වෙතිනි

උඩවලව

මෙ තියෙන්නෙ උඩවලව වැව. හැමෝම හොඳට දන්න තැනක් ,අඩු තරමින් අහල තියන තැනක්. මේ හවස 6.30 ට විතර මම හිතන්නෙ .ඒ වෙලවට වැව උඩ පාරෙ ගොඩක් දුර යන්න බෑ මේ හරියට නම් යන්න පුලුවන් . හරිම ලස්සනයි. මගේ phone එකෙන් ගන්න බෑ ඔයිට වඩා හොඳට.ඒත් වෘත්තීය ඡයාරූප කැමරාවක් තියනව නම් නියම photos ටිකක් ගන්න පුලුවන්,ආ.... තව එකක් ඔය 3 වන රූපයේ තියන පරිදි (ඊතල ) විදුලි වැට අහුවෙන්න ගන්න එපා ,ඒක මගඇරල ගන්න

වැදගත්:- විදුලි වැට කිව්වට මේ වෙලාවට විදුලිය නැහැ..ඒත් පරිස්සම් වෙන්න විදුලිය නේ .... police Uncle ලා  ඉන්නව ඒ අය කියන දෙ අහන්න(අඩු තරමින් මේ වගෙ තමන් නොදන්න පලාතකදි )

(නිසි අවසරයකින් තොරව ඡයාරූප උපුටා ගැනීම තහනම් !)

වීරයෙකු වු විමල් සහෝදරයා !

විමල් නැවතත් කරලියට පැමින ඇත,රූපවාහිනි ගුවන් විදුලි පුවත් පත් පමණක් නොව බ්ලොග් කරුවන් ද ඔහු ගැන කතා කරයි(අනුනට කියන ගමන් මම ද කතා කරයි ).මට හිතෙන හැටියට විමල් දැනටමත් තම අවශ්‍යතාවන් බොහෝ දුරට ඉටු කරගෙන හමාරය

01) යුද්දෙන් පසු අවතැන් උන "දේශප්‍රේමය " නැවත විකුණා ගැනීම(මේ යකා විකුණන්න දන්නේ මෙච්චරය)
02) ජාතික ලයිස්තු කතාවෙන් පසු මහරජතුමාගෙන් කැපුන ලකුණු ටික ලබාගැනීම
03) රජයේ මාධ්‍ය වලින් පවා හැලෙමින් තිබුනු තමා ගේ රූපය, සියලු මාධ්‍යන්හි ප්‍රචාරය කරවා ගැනීම
04)බහුතර ජනතවගේ අනුකම්පාව දිනා ගැනීම(ස්වර්ණවහිනිය මේ සඳහා පැල් බැඳගෙන වැඩය)

සරලවම කියතහොත් "පොරක්" වීම ඉටුකරගෙන හමාරය,බ්ලොග් ලියන කියවන සමාජය ඇතුලු යම් පිරිසක් මේ සමයම අවබොධ කරගත්තත් ග්‍රමීය බහුතරයක් ජනතවට විමල් දැන් වීරයෙකි (මාධ්‍ය විසින් වීරයෙක් බවට පත් කරමින් සිටියි )

නායකයකු සොයමින් පිස්සු නටමින් සිටින UNP යත් ඇදගෙන විරුද්ධ මතවාදයක්ද හදා ගැනීමට මොහු සමත්ව ඇත. මතයක් ජනප්‍රිය කරවීමට විරුද්ධ මතයක් අවශ්‍ය වන අතර UNP ය විසින් නොමිලේම සේවාව සපයයි.දෙශද්‍රොහි හංවඩුව හිසෙම ගසාගෙන සිටින විපක්ෂනායකතුමාම එම සෙවාව සපයන විට විමල් සහොදරයාට දැනෙන අතල් එකත් සුලුපටුනැතුව ඇති

මේ යකා නටන මේ සමයමෙන් අපිට සිදුවනුයේ .නිදහසේ  පාරේ යන්නට බැරි වීම , හදිසියට වත් බත් කන ගමන් වත් NEWS බැලීමට නොහැකි වීම වැනි පොඩි කරදර 2 ක් 3 ක් පමණි(විමල් කියන විදිහට මාතෘභූමිය වෙනුවෙන් නිසා ඉවසා සිටීමට බැරිද නැත )
නමුත් රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන මේ විකාරයෙන් රටේ කීර්ති නාමයට යම් පමණකට හෝ සිදුවන හානිය නම් රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත .
ඒ නැතත් හෙට අනිද්දා විතර පොලිසියෙන් බලෙන් උස්සාගෙන යාම නිසා(මූන් කාරයා කමිටුව අයින් කරගනිවි යැයි නොසිතෙන නිසා)  ජීවිතය බේර ගන්නා විමල් මැතිදු ගෙන් නිදහස් පක්ෂය ප්‍රවෙශම් විය යුතුය

තව හොඳ නැටුම් ඉදිරියටය !

මේ photo එක නම් කවුරු ගත්ත එකක් ද දන්නෙ නැ, මම ගත්තෙ Taboo Subjects ගෙන්

ආයුබෝවන් !

ආයුබෝවන් ! බුවත් Blog ලියන්න කියල හදන්නෙ. පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත්, තියන දෙයක් කියවල කමෙන්ටුවක් එහෙම දාන්න කියල මම හැමෝටම ආරාධනා කරනව .

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top