බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! »

  • RSS Feed
  • Twitter
  • Facebook
  • Followers

    ලාංකීය සිතුවිලි

    lankeeya sithuwili

    Kottu

    අඹ ගහ යට'

    සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

    සිංහල බ්ලොග් කියවනය

    මාතලන් සින්ඩිය

    ලඟකදි ලියපුවා

    Friday, April 13, 2012

    අපි නොදන්න අවුරුදු ක්‍රිඩා

    ක්ෂණික ප්‍රතිචාර : 
    2012  සිංහල -හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ පැය කිහිපයකි . සියලුම සිංහලයන්වත් සියලුම හින්දුන්වත් මේ උත්සවය සමරන්නේ නැති වුවත්  අලුතින් නම් සොයනවාට වඩා පහසු නිසා  පොදු භාවිතයම යොදා ගැනීම  වඩා හොඳය . මුණු පොතේ එක එකා ටැග් කරන ෆොටෝ වල ටැග් ගැලවීමත් , බතික් සරම් ගහගෙන ගැමි කම ගැන පොර ටෝක් දෙන "විද්වතුන්ගේ" බයිලා අසා සිටීමත් එපා වී ඇති නිසා මේ ලියා තබන්නට සැරසෙන්නේ අවුරුදු උත්සවය හා බැඳි ඇති  අවුරුදු ක්‍රිඩා කිහිපයක්  අවුරුද්දේ පමණක් නොව මුලු වසර පුරාම මේ ආශ්චර්ය්‍යද්වීපයේ දකින්නට ලැබෙනා හැටි ගැනය







    සැඟවුනු අමුත්තා 

    සැඟවුනු අමුත්තා බොහෝ අවුරුදු උත්සවයන්හි දක්නට ඇති තරඟයකි . ක්‍රිඩාවක්ම නොවුනත් පුංචි පහේ වින්දනයක් ඇති වැඩකි . මෙහි ඇති අපූර්වත්වය නම්  'සැඟවුනු අමුත්තා' යැයි කිවාට අදාල අමුත්තා හැංගි මුත්තං කෙලියකදි මෙන්  සැබවින්ම සැඟවී සිටින්නේ නැති වීමය . ඔහු අවුරුදු උත්සවයට සහභාගිවන  අනෙකුත් පිරිස අතරම  රැඳි සිටින , එවැන්නෙක් සිටිනවා යැයි කවුරුත්  දන්නා චරිතයකි . එනම් ඉන්න බව දන්න , ඉන්න තැන දන්න ඒත් අල්ලා ගැනීමට අපහසු චරිතයකි

    මේ ආකාරයේ සැඟවුනු අමුත්තන් අවුරුදු  නොතිබුනත් දකින්නට ඇත . එක්කෙනෙක් ඉන්නේ ආශ්චර්ය දීපයෙන්  පිට සුපිරි  ඉස්පිරිතාලයකය . ඉස්පිරිතාලයේ නමත් හැමෝම දන්නවාය ,ඒ නැතත් නිවාඩු ගන්න දීපු වෛද්‍ය සහතිකයෙන් ඉස්පිරිතාලය සොයාගන්නට පුලුවන්ය . ඒ වුනාට පොලිසියේ මහත්තුරු කියන්නේ ඉන්නා තැනක් දන්නේ නැ කියලාය  . ඉන්න රටයි , ඉස්පිරිතාලයයි දෙකම  දන්නවාය නොදන්නේ රූම් නම්බර් එක විතරය , කෙහෙල් කැනක් කැපු  හොරෙක්ගෙන්  කැන් 10ක් හොරෙන් කැපුවා කියා කට උත්තර ගන්නා පොලෝසියට රූම් නම්බර් එකක් හොයා ගන්න බෑය කිව්වාමත් විලි ලැජ්ජය , කොහොම වුනත් හැමෝම දන්නා කියන , ඉන්න  තැනත් දන්න අමුත්තා පොලෝසියට 'සැඟවුනු අමුත්තෙක්' වෙලාය

    තවත් සැඟවුනු අමුත්තන් ජාතියක් ආශ්චර්ය්‍යද්වීපයෙ ඉන්නවාය . ඒ අය එන්නේ සුදු පාට වෑන් වලය .දැන සැහෙන කාලයක ඉඳන් එනවාය , උස්සන් යනවාය . සමහරුන් ඉස්සුවා විතරය ඊට පස්සේ  වෙච්ච දෙයක් නැය , තවත් සමහරක් කට්ටියක්ව  ගුවන් තොටුපලෙන් රටපටවනවාය , තවත් කෙනෙක් ගෙන් ප්‍රශ්න ටිකක් අසා කියන තැනකින් බස්සලා යනවාය . තවත් සමහරුන්ව උස්සාගෙන යන අතරමඟදී එන ටැලිපෝන් කෝල් නිසා නිදහස් කරනවාය . කොහොමින් හෝ සුදු වෑන් කාරයිනුත් සැඟවුනු අමුත්තන්ය . ඉන්නා බවක් දන්නවාය , කරන්නේ මොනවද කියලාත් දන්නවාය ,එන්නේ කොහෙන්ද කියා.......|සුදු වැන් අමුත්තන්ව ගෙදර ගෙන්නා ගැනීමට අවශ්‍ය නැති නිසා කපා දමන ලදී | ... ඒ වුනාට කාටවත් අහුවෙන්නේ නෑය


    අලියාට ඇහැ  තැබීම සහ කඹ ඇදිල්ල

    අලියාට ඇහැ  තැබීම සහ කඹ ඇදිල්ල අනාදිමත් කාලයක සිට පැවත එන අවුරුදු ක්‍රිඩාය (මම දන්නා තරමින් ) , තවමත් අවුරුදු උලෙල වල ඔය සෙල්ලම කෙරෙන්නේ පරණ විදිහටම වුනත් අනෙකුත් දවස් වලට රටේ සිද්ධ වෙන්නේ පොඩ්ඩක් වෙනස් විදිහටය . කොටින්ම දැන් අලියාට ඇහැ තැබිල්ලක් ඇත්තේම නැත . කරන්නේ අලියාගේ යසට තියන කැලි ටිකත් ගලවා දැමීම පමණය , අලියාගේ කැලි ගලවන ගොන් අලි රෑන සෙට් වෙන්නේම කඹ ඇදිල්ලටය . මේ කඹ ඇදිල්ලෙත් කෙලවරක් නැය ඔහේ දෙපැත්තට ඇද ඇද ඉන්නවා විතරය . ලබන මැයි පලවෙනිදා ට  නියම ඇදිල්ලක් බලා ගන්න පුලුවන්ය . එක් කට්ටියක් කොලඹටත් අනික් කට්ටිය යාපනයටත් කඹය අදින කොට වැඩියෙන් ඇදෙන්නේ කෝහේටද කියා බලාගත හැකිය . කවුරු කොහේට වැඩියෙන් ඇද ගත්තත් කඹ ඇදිල්ලෙන් දිනන්නේ මැද මුලනේ අම්පයර් මහත්තයා විතරය ! මුන් දෙගොල්ලම පරාදය !


    කණා මුට්ටි සෙල්ලම 

    කණා මුට්ටි සෙල්ලමද සැහෙන්න පරණය , ඇස් දෙක බැන්දත් ඉව සහ හොඳ කනක් තියන එකාට මුට්ටියට නෙලීම එතරම් අමාරු නැය .  අවුරුදු උත්සව වල කෙරෙන විදිහ එසේ වුවත් රටේ එදිනෙදා සිදුවෙන්නේ ඔය සෙල්ලමේ කණපිටය . එහිදී ඇස් බැඳ ගෙන ඉන්නේ නිකන්ම නිකන් හිස් මුට්ටි බවට පත්වී ඇති දේශප්‍රේමී ජනතාවය , මුට්ටියට නෙලන දේශපාලුවන් ඉන්නේ හොඳින් ඇස් කන් ඇරගෙනය . ඒ නිසා තරඟකරුවන් සියලු දෙනාම ජයග්‍රහාකයෝය , නිතිපතා කුඩුවෙනා මුට්ටි පමනක් පරාජිතයෝය


    ගම හරහා දිවීම

    ගම හරහා දිවීමද අවුරුදු උත්සව වල ප්‍රධාන සහ අනිවාර්යතම අංගයක්ය . මෙහිදි  මුල්තැන ලැබෙන්නේ දුවන උන්ටත් වඩා සපෝටර්ලාටය . ත්‍රිවිල් , මෝටසයිකල් වලින් වට  කරගත් සැබැවටම දුවන එකෙක් දැක ගන්නවත් අමාරුය . මන්ද සපෝර්ටලාගෙන වැහිලාය . කොටින්ම දුවනවාට වඩා තියෙන්නේ බොරු   ෂෝ එකය , අනෙක් ගම්වල උන්ට  දුවනා බවක් පෙන්නීමය . අවුරුදු කාලෙන් පිටතදී මේ සෙල්ලම කරන්නේ කබර -රාල අන්කල්ය . පත්තරේ ඇඩ් දම දමා කියන්නේ අපේ ආර්ථිකය රේස් එකේ දුවනවා කියාය , කලාපයෙන් එක වෙලාලුය , ලෝකයෙන්ම දෙක වෙලාලුය කියලාය . ඒ වුනාට  දුප්පතාට තියා මධ්‍යම පාන්තිකයාටවත් එහෙම ගතියක් පෙන්නට නැය , ඒත් ඉලක්කම්  ලොකු නිසා අනික් උන්ට පේන්න ෂෝ එක නම් තියනවාය .

     විවිධ මාධ්‍ය හරහා දුටු දේ ඇසුරෙන් ලියා තැබුවේ 'අපි නොදන්න අවුරුදු ක්‍රිඩා ' කිහිපයක් ගැනය , ඔබටත් තව තව ඒවා මතක් වීමට ඉඩ ඇත .ඒවා පහලින් ලියා තබනවා නම් අගනේය . කිව්වා කියා අමුත්තක් නොවුනත්  ශ්‍රි ලංකා වාසි  සියලු දෙනාටම  කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව වසරක් උදා වේවා  කියා  බුවා විසින් ප්‍රාර්ථනා කරන සිටිනවාය . බ්ලොග් කරුවන්ගේ සිහින බක්මහ උලෙලත් අති සාර්ථක වේවා කියා පතනවාය . සංවිධායක මණ්ඩලය දේශප්‍රේමීන් නම් මේ පාර  ඇමරිකන් පිටි වලින් හැදු බනිස් කැම නම් සිහින බක් මහ උලෙලෙන් ඉවත් වෙලා තිබෙන්නට පුලුවන්ය !

    15 comments:

    1. ලිස්සන ගහේ නැගීම - අපි එදා සිටම ලිස්සන ගහේ නගිමු.නමුත් අපි ග්‍රීස් හූරනවා විතරය.අවසාන මොහොතේ කොහෙන් දෝ පාත් වෙන එකෙක් ග්‍රීස් ඉවත් කල ලිස්සන ගහේ නැග කොඩිය ඩැහැගන්නවාය.

      ReplyDelete
    2. හොදම බොරුකාරයා තේරීම,
      ඉදිරිපත් වෙන උදවිය අමුතුවෙන් කියන්න ඹ්න නෑනේ.
      සැගවුන අමුත්ත,
      දැං ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ.
      කොට්ටාපොර,
      මේක සාමාන්‍ය ක්‍රීඩාව නෙවේ. මාරාන්තික එකක්. පැවැත්වෙන්නෙ කැළණිය පැත්තෙ.
      පොල් ගෑම,
      වලව්වෙ කුස්සියේ පොල්ගාන්න ඉදිරිපත් වෙලා ඉන්නව තරගකරුවන් රාශියක්. බලමු දිනන්නෙ කවුද කියල.
      වලං සේදීම,
      පොල්ගෑම වගේමයි. වැඩිම වලං ප්‍රමා‍ණයක් හෝදන කෙනා දිනනව.(වලං බිදුනට අවුලක් නෑ)
      ලොකුම හිනාව,
      සුදුස්සො බර ගානක් ඉන්නව.කාට දෙන්නද කියල හිතාගන්න බෑ.

      ReplyDelete
    3. හික් හික්!! සැඟවුණු අමුත්තන්ගේ කතාව තමයි සිරාම

      ReplyDelete
    4. දැන් අලුත් එකක් තියෙනවා. මේ ලඟදි දේශප්‍රේමි ඇමරිකන් පුරවැසියෙක් අවුරුද්දටම හදපු අලුත්ම ක්‍රීඩාවක්. ඒකට කියන්නෙ "හත්පොලේ ගා ගැනීම".
      ඔස්ට්‍රේලියන් කාරයෙක් උස්සලා ඊට පස්සේ ඔස්ට්‍රේලියන් තානාපතිට වැඳ වැඳ ඌව නිදහස් කරල හත්පොලේ ගා ගැනීම.

      සූස්ති

      ReplyDelete
    5. ඇයි ළමයෝ "කඩේ යාම" නම් වූ ක්‍රිඩාව?

      කඩේ යාම ක්‍රීඩාව තව නමකින්ද හැඳින්වෙන බව කඩේ යන කෙනෙක් මා සමග කීවා!

      http://kathandara.blogspot.com.au/2011/08/xx-chat-with-soma.html

      ඕක කරන අය ඇයි මොකද කියලා අහමින් කරනවා. එකෙකුට කඩේ නොයන බව පේන කොට මූ අනිකාට කඩේ යන එකෙක් කියා කියනවා.

      ReplyDelete
    6. අයි බන් ලිස්සන ගහේ යාම..එක එකාව පරද්දගෙන ඉස්සරහට යන එක කොච්චර ආතල් ද..

      ReplyDelete
    7. මටත් ඇල්ලුවේ සැගවුණු අමුත්තගේ කතාවය...ඒ සිද්ධියේ ඇත්ත,නැත්ත රටම දන්නවාය... මහාතැනද හෙළුවෙන්ය... උසාවියද මුලින්ම අදීමදි කළේය. දැන් කොමදැයි දන්නේ නැත.

      පුහ්හ් !!!මාර ප්‍රජාතන්ත්‍රවාදේ !!!!

      ReplyDelete
    8. සැගවුණු අමුත්තගේ කතාව +++ !!

      ReplyDelete
    9. ඇයි වල කජු ගැසීම.
      සිංහල අවුරැදු ක්‍රීඩාවල භයානකම ක්‍රීඩාව මෙයයි.
      අහුඋනොත් ක්‍රීඩකයාට වලකජ්ජම ගහන්න වෙනවාය.

      ReplyDelete
    10. ඔන්චිලි පැදිල්ලත් මාරන්තිකනේ. ඔබ කියන සැඟඋන අමුත්තෝ නොසොයා ඉන්න තරමට ශරීරයට හිතකර වේවි.

      ReplyDelete
    11. ලොකුම බොරුව තරගෙටනම් කට්ටිය ගිය මාසෙම ඉදන් ලෑස්ති උනානේ.. අර ගනන් හිලවු ගැන කියපු කෙනා දිනයි මම හිතන්නේ..:)

      ReplyDelete
      Replies
      1. ඒක තිබ්බ බන්..ඒක ගැන කථා කරන්න එපා.. ආපු යෝධයා නෑවා කියන්නේ වතුර ඇදගෙනම නෑවා..

        Delete
    12. ඇයි "කල්ලි ගැසීම"? අවුරුදු කාලෙට දර කෑලි එක්ක කරන සෙල්ලමක්ලු. ක්ෂණික තීරණ ගන්න පුරුදු කරන එකක්ලු. කාලයක් තිස්සෙ ක්‍රීඩා අමාත්‍යාංශය අවුරුදු ද නැද්ද කියල බලන්නෙ නැතිව මේ ක්‍රීඩාව පවත්වාගෙන යනවා කියල ආරංචිලු.

      අනික අං කෙළිය. මේ කාලේ ඒකට ඉදිරිපත් වෙන අය වැඩියිලු. තරඟයේ නීති රීති දන්න අය අඩුයිලු.

      ඔළිඳ කෙළියයි, පංච දැමිල්ලයි, ඔත්තෙ ඉරට්ට ගැසීමයි, ජල්ලි ගැසීමයි, වළකජු ගැසීමයි ඔක්කොම පටලවා ගෙන ඉන්නවා කියන්නෙ මහා බැංකුවලු.

      කන්දෙ දෙවියන්ට පොල් ගැසීම ලංකාවේ නැතිව ඉන්දියාවේ පවත්වනවාලු.

      බඹර කෙළියත් මොකක් ද කියලා හොයාගන්න බැරුව .... කට්ටියක් මොකක් ද ෆිල්ම් එකක් බැලුවළු.

      කඹ අදින එකත් දැන් කාලේ ලේසි නැහැල්ලු. එක පැත්තක් දිනනවා වගේ දකින කොට අනිත් පැත්තෙ සේරම දිනන පැත්තට දුවනවාලු.

      කට ගැසීම කියන එකට හැමදාම එකම කට්ටිය ඉදිරිපත් වෙන නිසා බලන්න ප්‍රෙක්ෂකයෝ නැහැල්ලු.

      අවුරුදු විලක්කුව නටන්න හික්කා යන්න ඕන කියල කවුදෝ ඇඬුවලු.

      පනා හැංගීමේ කෙළිය කියලා එකකුත් තියෙනවාලු. හැබැයි ඒක උඩින් රාජ් කියන ලොකුම පනාව දාන එක ගැන නෙමෙයිලු.

      ReplyDelete
    13. ක්‍රිඩා ගැන දන්නෙ නැති එවුන්ට ඇඩෙන්ට ලියලා නොවැ.. :)

      ජය වේවා !

      ReplyDelete
    14. තව හොඳ සෙල්ලම් කීපයක් තිබේ.

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...