Skip to main content

රනිල් vs කරු


එජාපයෙ නායකත්ව අර්බුධය නැවත වතාවක් කරලියට පැමිණ තිබේ . ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්ය භාරය ඉටු කල යුතුවූ එජාපය එම වගකීම් සහමුලින් අමතක කරදමා තමන්ගේ අභ්‍යන්තර අවුල් ජාලය විසඳීමට උත්සහ කරමින් හෙවත් තව තවත් එය අවුල් කරමින් සිටින්නේ වසර ගණනාවක සිටයි . සැබවින්ම මෙම නායකත්ව අර්බුධයේ මුල් ගාමිනි අතුකෝරාල මහතා ජීවත්ව සිටි යුගය දක්වා දිවෙයි . පසුගිය කාලයේ සජිත්-රනිල් වලියක් වූ නායකත්ව අර්බුධය මෙවර නව මුහුණු වරක් ගෙන තිබේ . ඒ කරු ජයසුරිය මහතා නායකත්ව සටනට සක්‍රියව අවතීර්ණ වීමත් සමඟයි . ඒ අනුව එජාපයේ නායකත්වය වෙනුවෙන් අපේක්ෂකයෙන් දෙදෙනෙකු ඉදිරිපත්වී අතර මැතකදි සම්මත කරගත් පක්ෂ ව්‍යවස්තාව අනුව පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමේ අභියෝගය ට අද එජාපය මුහුණ දී තිබේ . මේ පිලිබඳ කතිකාවේ ආරම්භය ලෙස නායකත්ව අපේක්ෂකයින් දෙදෙනාගේ දේශපාලන ප්‍රොෆයිලයන් වෙත අවධානය යොමු කරමු .

 ප්‍රභල දේශපාලන පවුල් පසුබිමක් සහිත රනිල් වික්‍රමසිංහ මහතා කොලඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු කොලඹ විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යනාංශයට ඇතුල්වේ . ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලත් එකම නායක තලයේ දේශපාලඥයා වන ඔහු නීති විද්‍යාලය හරහා වෘත්තිමය නිතිවේදියෙකු බවට පත්වේ . මාමණ්ඩියගේ ආශිර්වාදයෙන් දේශපාලනයට පිවිස ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන වික්‍රමසිංහ මහතා විසින් බිහි කල තරුණ සේවා සභාව ඔහුගේ අමාත්‍ය ධුර කාලයේ  ඉටුකල  කාර්යයන් අතරින් වඩාත් ප්‍රචලිතය . දෙවරක් රටේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇති ඔහුට දූෂණ චෝදනාවක් එල්ලවී නොතිබීම විශේෂත්වයකි . පාතාල නායකයින් හා බටලන්ද වධකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් ඒවා ඔප්පු වී නොමැත .  වාර්ගික ගැටලුව හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඔහුගේ අගමැති ධූර කාලය තුලත් සිවු වන ඊලාම් යුධ සමයෙත් කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රභල විරෝධතා එල්ලවී තිබේ

 කෙටි යුධ හමුදා   ජිවිතයක් ඇති කරු ජයසුරිය මහතා වෘත්තිය ව්‍යාපාරිකයෙකි. ප්‍රේමදාස ජනපතිවරයාගෙ සමයේ ජර්මනියේ ශ්‍රි ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන ඔහු ක්‍රියාකාරි දේශපාලනයට පිවිසෙන්නේ කොලඹ නගර සභාව තුලිනි . ඉන්පසු පලාත් සභාවේ විපක්ෂ නායක  ධූරය හා කැබිනට් අමාත්‍ය ධූර හොබවා ඇති ජයසුරිය මහතා ට එරෙහිව  දූෂණා චෝදනා හෝ මැර දේශපාලනය පිලිබඳ චෝදනා එල්ලවී නොමැත . ඔහු විසින් තවත් එජාප ප්‍රභලයින් 17ක් සමඟ සිදු කල පක්ෂ මාරුව ඔහුගේ දේශපාලන ජීවිතයේ කලු පැල්ලම ලෙස සටහන් කල හැක

 ඉහත සඳහන් දේශපාලන ප්‍රොෆයිලයන් දේස බැලු විට ඉදිරියෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවට කිසිදු සැකයක් නැත . සැබවින්ම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංසන්ධනය කිරීමට  හැකි එකම දේශපාලකයා මහින්ද රාජපක්ෂ මහතා පමණි . රනිල් වික්‍රමසිංහ මහතා මෙන් උපාධිධාරියෙකු නොවුනත් රාජපක්ෂ මහතාද වෘත්තිමය නිතිඥයෙකු වන අතර වික්‍රමසිංහ මහතාගේ පහසු සහ අහඹු අවස්ථාවන් සහිත දේශපාලන ජීවිතය වෙනුවට කටුක බාධක වලින් පිරිණු දේශපාලන ජීවිතයක් ගත කල රාජප්ක්ෂ මහතා ශ්‍රි ලාංකීය දේශපාලනයේ උපරිමයෙන් තෙම්පරාදු වූ චරිතයක් ලෙස සැලකිය හැක . ආර්ථික ප්‍රතිපත්ති හා සමාජීය ආකල්ප අතින්  වික්‍රමසිංහ මහතා රාජපක්ෂ මහතාට වඩා කාර්යක්ෂම බැව් ඔහුගේ අග්‍රමාත්‍ය ධූර කාලය තුල වසරක් තුලදී -1.5%ක්ව පැවති ආර්ථික වර්ධන වේගය 4.0% දක්වා ගෙන ඒමත් උද්දමනය 10%ට අඩු අගයක පවත්වාගැනීමත් තුලින් හෙලිවේ . විදෙස් සබඳතා තුලද රාජප්ක්ෂ මහතාට ඉදිරියෙන් වික්‍රමසිංහ මහතාගේ ශක්‍යතාවන් දක්නට ඇති අතර අනික් අතින් මහින්ද රාජපක්ෂ මහතා විවිධ දෙශපාලන පක්ෂ , තමාට හිතවත්  එකිනෙකට වෙනස් බහුජන සංවිධාන ආදිය මනා ලෙස කලමණාකරනය කරගැනීමටත් මහජන ප්‍රසාදය දිගින් දිගටම පවත්වාගැනීමටත් ඉහල දක්ෂතාවයක් දක්වා ඇත . එමෙන්ම වික්‍රමසිංහ මහතාගේ ඇතැම් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් පවා ජනතා අප්‍රසාදයක් ඇති නොවන පරිද්දෙන්  උපාය ශිලිව ක්‍රියාවට නැංවීමට හා රටේ යටිතල පහසුකම් වර්ධනයෙ කිරීමෙදිත් වික්‍රමසිංහ මහතා අභිබවා යන දක්ෂතාවයන් රාජපක්ෂ මහතා සතුව ඇත

මේ අයුරින් සලකන විට රටේ වර්ථමාන නායකත්වයට සැසඳිය හැකි  නායකත්වයක් එජාපය තුල දක්නට ඇත . නමුත් ගැටලුවක් ඇත . ඒ ඉහත සඳහන් කරන ලද සෛද්ධාන්තික කාරණා ඉක්මවා යන වෙනත් කාරණා රාශියක් නිසා රනිල් වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂට කිසිදු අභියෝගයක් කල හැකි නායකයෙකු නොව් යන තත්වයක් මතුවී ඇත

 එම කාරණා මොනවාද ?

01) සන්නිවේදන දුර්වලතා - වික්‍රමසිංහ මහතාගේ දක්නට ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ මෙයයි . තමන්ගේ ප්‍රතිපත්තීන් හෝ තමා විසින් අරගත් තීන්දු තීරණ පිලිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමේ හැකියාවක් නොමැති වීම තුලින් ඊට එරෙහිව නැගෙන  මතවාදයන් සමාජ ගත වීම වැලැක්විය නොහැක . අග්‍රාමාත්‍ය ධූර කාලයෙදී තමන් කල කී දැ පිලිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට , රාජපක්ෂ රජය විවේචනයේදී එය ජනතාවට දැනෙන අයුරින් එය සිදුකිරීමට අපොහොසත් වීම  බොහෝ සෙයින් දක්නට ලැබුනු අතර ඇතැම් විට ඔහු ජනතාව ඉදිරියෙ විහිලු කාරයෙකු වන ආකාරයක්ද දක්නට ලැබින. මංගල සමරවීර වැන්න වුන්ගේ "රනිල්ට බැ" පාඨය ජනතාව අතර සම්මතයක් බවට පත් වූයේද මේ සන්නිවේදන දුර්වලතාවය හේතුවෙනි

02) වාර්ගික අර්බුධය සම්බන්ධ හැසිරීම් - වාර්ගික අර්බුධය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියකලාපය ප්‍රධානතම ඍණ සාධකය බවට පත් වී ඇත . ඔහු රජය භාරගත් අවස්ථාවේ රටේ පැවැති තත්වය තුල යුධමය වාතාවරණයකට යැමේ හැකියාවක් නොතිබුනු නිසා සටන් විරාමයකට යාමේ ගැටලුවක් නැති වුවත් , සටන් විරාමය පවත්වාගෙන යාමෙදී රාජ්‍ය නායකයෙකු වශයෙන්  අවස්ථානු කූල ඍජු තීරණයන්ට එලඹීම ඔහු අතින් සිදුවූයේ නැත . සටන් විරාමය තුල කොටි සංවිධානයට එරෙහිව උපක්‍රම ශිලි ක්‍රියාමාර්ග අරගනු ලැබුවත් පසු කාලීනව සටන් විරාමය පිලිබඳ චෝදනා එල්ලවත්දී ඒවා හෝ තමන් සටන් විරාමයකට ගිය හේතු සාධක නිවැරදිව ජනතාව අතරට ගෙනයාමට හැකි වුයේ නැත . යුධ විරෝධියෙක් වීම දේශපාලන පක්ෂ නායකයෙකුගේ අයිතිය වුවත් රටේ ප්‍රධාන විපක්ෂයේ නායක වරයා ලෙසින් ඒ පිලිබඳ උපාය ශිලි විය යුතුව  තිබුනින් . එමෙන්ම යුධ විරෝධතාවන් අපහාසාත්ම අයුරින් (අලි මංකඩ -පාමංකඩ වැනි )රට හමුවේ ඉදිරිපත් වීම වැලැක්වීමටද ඔහු සතුව වගකීමක් තිබුනි .

03) පාක්ෂිකයින් සමඟ ඝට්ටනයන් - රනිල් වික්‍රමසිංහ මහතාගේ අසාර්ථකත්වයට බලපැ තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ඇතුලු පාක්ෂිකයින් සමඟ ඇතිකර ගත් ගැටලු කාරි තත්වයයි . පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් 61ක් ඇතුලු එජාප පාක්ෂිකයින් රාශියක් සන්ධානයට එකතුවන්නේ මූලිකම වශයෙන්ම මේ  නිසායි . හිතවතුන්ට සලකමින් අනෙක් අය නොසලකා හැරීම , පුදගලයින්ගේ සිත් නොසතුටු වන ආකරයේ පත් කිරීම් හා ඉවත් කිරීම් , ඇහුම් කන් නොදීම් , සුලු ජාතික පක්ෂ සහ 'ම 'පාර්ශවය වැනි අය වෙනුවෙන්  එජාප පාක්ෂිකයින් අපහසුතාවයට ලක් කිරීම  ආදී නොයෙකුත් කාරණා නිසා එජාප පාක්ෂිකයා තුල රනිල් වික්‍රමසිංහ මහතා පිලිබඳ යහපත් චිත්‍රයක් නොමැත . පක්ෂ මාරු කිරීම් වලට අමතරව මැතිවරන වලදි කර ඇරීම , රනිල් ට බැ  මතය ජනතාව අතර සම්මතයක් වීම වැනි කාරණා  සඳහාද පාක්ෂිකයින් සමඟ ඇති කරගත් ගැටුම් බලපා ඇත


04) ලාංකීය ජන සමාජය බලාපොරොත්තුවන ලක්ෂණ වලින් තොරවීම - ලාංකීය ජන සමාජය නායකයෙකුට කිසිදු ප්‍රයෝජනයකින් තොර පිරිමිකම ,මහජනතාව සමඟ සුහදත්වය , දරුවන් සිටීද නොසීටීද වැනි ලක්ෂන මෙන්ම "සිංහල බෞද්ධ" කම පෙනෙන්නට තිබීම වැනිලක්ෂන  බලාපොරොත්තු වන ප්‍රවනතාවයක් දක්නට ඇත . සැබැ ලෙසම රටක් ගොඩ  නැඟිමට මේවායේ ඇති වැදගැම්මක් නැතත් , ඕවා නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රභල තරඟයක් දුන් 2005ට  සාපේක්ෂව වර්තමානයේ ඒවාට ඇති වටිනාකම සැහෙන ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත ,බලයට පත් වූ පසු ක්‍රියාකාලාපය තුලින් රටේ ජනතාවගේ  ග්‍රාම්‍ය චින්තනයන් වෙනස් කිරීමේ හැකියාවක් නායකයෙකුට තිබුනත් ,බලය ලබා ගැනීම සඳහා  ඡන්දය  ලබාගැනීමේදි අදාල චින්තන ධාරාවට යම් තාක් දුරකට හෝ අනුගත විය යුතුය . වික්‍රමසිංහ මහතා මෙතනදි අසාර්ථකය

05)ජාත්‍යන්තරය මත අනවශ්‍ය ලෙස යැපීම - කලින් විස්තර කල පරිද්දෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ ප්‍රත්පත්තිය සැහෙන තරම් රටට සුභ දායකය . ඉන්දියාව චීනය හා ඉරානයෙන්  එපිට ලෝකය තුලින් ශ්‍රි ලංකාවට වාසි ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ සබඳතා අතිශයින් වැදගත්ය . නමුත් රාජ්‍ය නායකයෙකු වශයෙන් රටට වැඩදායක වන එම සබඳතා විපක්ෂ නායකවරයා වශයෙන් එලෙසින්ම වැදගත් වන්නේ නැත . විශේෂයෙන්ම ජාත්‍යන්තර බලවේග යනු රට ගිල ගැනීමට බලා සිටිනා බහිරවයෙකු ලෙසින් මවා ඇති සමාජයක  තමන්ගේ ජාත්‍යන්තර කටයුතු ප්‍රවේසම් සහගත ව කල යුතුය . එමෙන්ම රට තුල කථා කල යුතු  මතෘකා සියල්ලක්ම ජාත්‍යන්තර තුලට ගෙන යාමේ අවශ්‍ය තාවයක්ද නැත .  නමුත් වික්‍රමසිංහ මහතා ගෙ හැසිරීම මීට ප්‍රතිවිරුද්ධය . ජාත්‍යන්තර ෆෝබියාවෙන් පෙලෙනා සමාජය තුල ඔහුව තව දුරටත් ප්‍රතික්ෂේප වීමට එම හැසීරීම් බලපා ඇත



ඉහත දැක්වූ හේතුන් ඇතුලු සාධක ගණනාවක් නිසා වික්‍රමසිංහ මහතා සතු  මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාව  සෛද්ධාන්තික වශයෙන් සමාන ප්‍රතිවාදියෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාට වඩා බොහෝ සෙයින් අඩුවී ඇත . ඔහු එජාපයේ නායකයා වශයෙන් කටයුතු කරන නිසා එජාපයද මැතිවරණ තුලදී එම දුර්වලතාවයම දක්වා ඇත . කොලඹ ජයග්‍රහනය වැනි අවස්ථානුකුල සිදුවිම් හරහා යම් පිබිදීම් දක්නට ලැබුනත් ඒවා දිගු කාලීනව පවත්වාගැනීමට වික්‍රමසිංහ මහතාට  තමන්ගේ ක්‍රියා කලාපය නිසා හැකියාවක් නැති අතර වික්‍රමසිංහ මහතා සැහෙන පමණ වගකිව යුතු එජාපයේ අසමඟිය ද ඊට තදින් බලපා ඇත .

එජාපය තුල දක්නට ඇති මෙම කඩා වැටීමෙන් ගොඩ ඒම සඳහා විකල්ප නායකත්වයක අවශ්‍යතාව අවධාරන කෙරෙන්නෙ ඒ පසුබිම තුලය . එහිදී මින් පෙරදී නායකත්වය වෙනුවෙන් තරඟ කල සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙ දුර්වලතාවයන්ට විකල්පයක් වුවත් මහින්ද රාජපක්ෂ මහතාට විකල්පයක් වීමේ හැකියාවක් තිබේද යන්නත්, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදර්ශනය කල දේශපාලනික නොමේරුම් ස්වභාවයත්  රනිල් වෙනුවට සජිත් ගෙන ආවාට වැඩක් වේද යන්න ප්‍රශ්නයත් මතු කරන ලදී . එය ජන සමාජය තුල පමණක් නොව එජාපය තුලද මැදිහත් පුද්ගලයින් තුල  නැගුනු ප්‍රශ්නයක් බැව් දක්නට ලැබිනි .කරු ජයසුරිය මහතා කරලියට එන්නේ ඒ අනුවය . මුල් වටයේදී එය සජිත් ප්‍රේමදාස මහතාගේ ගේමක් පමණක් බැව් දක්නට තිබුනත් මේ වන විට එජාප පාක්ෂිකයින් බහුතරයකගේ  සහ සිවිල් සමාජයේ බොහෝ දෙනෙකුගේ ආශිර්වාදය ලබන්නක් බවය පත් වෙමින් ඇත

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ප්‍රොෆයිලය සමඟින් නොගැලපුනත් කරු ජයසුරිය මහතාගේ දේශපාලන ගමන සැලකූ විට රනිල් වික්‍රමසිංහ මහතා සතු  විදේස් සබඳතා , ආර්තික ප්‍රතිපත්තීන් වැනි එජාපයේ ශක්තීන් වල නිසි ප්‍රයෝජනයන් ගැනීමේ හැකියාවක් ඔහු සතුව නැතැයි කිව නොහැක . තැන්පත් සහ නම්‍යශීලි දේශපාලකයෙකු වන ජයසුරිය මහතාට ආකර්ෂනීය වාග් විලාසයක් නැතත් ජනතාව ඉදිරියේ ජෝකර් කෙනෙකු නොවී මතය ප්‍රකාශ කිරීමේ හැකියාවක්  ඇත . මේ දක්වා එජාපයේ සියලු පාර්ශවයන් සමඟ  එකමතුව කටයුතු කල ඔහුට පක්ෂයේ සමඟිය යලි ඇති කිරීමටත් හැකියාවක් ඇති බව පැහැදිලිය.

වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ද කරු ජයසුරිය මහතා තම ප්‍රතිරූපය කෙලෙසා ගෙන නොමැත . (ඇතැම්  දේශපාලන විචාරකයින් ජයසුරිය මහතා කල අභ්‍යන්තර පරීක්ෂන කථාව නම් විකෘති කරමින් පතුරු ගැසීමට ඉඩ ඇත ) .

රනිල් වික්‍රම සිංහ මහතා මෙන් ජාත්‍යන්තර  සංවිධානවල සමාජිකත්වය නොදැරුවත් , රජයක්  බිහිකල විට සාර්ථක විදේස් ප්‍රතිපත්තියක් ගෙන යාටම බාධාවක් නොමැත . එජාපයේ සුපුරුදු ධනවාදි නැඹුරුව සහ බටහිර විරෝධි අන්තවාදීන් නොමැතිවීම තුල  එය ගැටලුවක් වන්නේ නැත . වඩාත් වැදගත් වන්නෙ කරු ජයසුරිය මහතා විපක්ෂ දේශපාලනය තුල ජාත්‍යන්තරය මත යැපෙන්නෙක් නොවීමය . සිංහල බෞද්ධ ප්‍රතිරුපය ඇතුලු ජනතාව බලාපොරොත්තු වන අවශේෂ කාරණාද කරු ජයසුරිය මහතා සතුය . මහින්ද රාජපක්ෂ ජනපතිවරයා තරම් ජනතාව අතර නොගැවසුනත් එජාප පාක්ෂිකයින් සමඟ සුහදව වැඩ කිරීමේ හැකියාව ඔහු  සතුබව දක්නට ඇත . ඒ අනුව කරු ජයසුරිය යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපත් ලක්ෂණ යම් තාක් දුරට  රැකගත් ඔහුගේ දුර්වලතාවයන්ගෙන් තොර එජාපයට මේ මොහොතේ අවශ්‍ය කරන අන්දමේ නායකයෙකු බැව් පැවසිය හැක .

කරු ජයසුරිය මහතාගේ කලු පැල්ලම වන්නේ පක්ෂ මාරුවයි , ඒ පිලිබඳ ඔහුගේ පැහැදිලි කිරීම කුමක් වුවත් එය නොකල යුතුව තිබු කාරණයක් බව මාගේ අදහසයි . නමුත් වර්ථමාන එජාපය පත්වී ඇති තත්වය තුල එම මාරුව නොසලකා හැරිය හැකි වන්නේ , වෙනස්ක් සිදු නොවුනහොත් තවත් එජාප මන්ත්‍රි වරුන් රාශියක් කරු ජයසුරිය මහතා ගිය පාරේම යා හැකි බැවිනි .වරක් පක්ෂයෙන් එලියට ගියත් ගාමිනි දිසානායකයන්ට  ජනපති අපේක්ෂකත්වය ලැබුනා සේ  කටයුතු කිරීමේ  හැකියාව එජාපයට ඇත .   එජාපයේ සමස්ථයට  වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුල ඉදිරියේදී සදා නොමැකිය හැකි කලු පැල්ලමක් ඇතිවී පක්ෂය ලාංකීය දේශපාලනයේ  සදාතනික විපක්ෂය වීමේ අවධානමක් ඇත . රටටම බලපානා ඒම තත්වය වැලැක්වීමට කටයුතු යෙදීම කරුගෙ කලු පැල්ලමට වඩා වැදගත්ය


කරු ජයසුරිය ආගමනයත් සමඟ රජයේ මාධ්‍ය ඔහුට එරෙහිව මඩ ප්‍රහාර දියත් කරමින් ඇත . ඔවුනට අනුව සජිත් ප්‍රේමදාස මහතාට තරම්වත් සහයක් කරුට එපාපය තුල නොමැත .රනිල් වික්‍රමසිංහ වඩාත් සුදුස්සාය . දේශද්‍රෝහි කොටි ලේබල් අලවා කුජීත කර ඇති රනිල් වික්‍රමසිංහ කරුට වඩා හොඳ වීම පිලිබඳ හාස්‍යක් මතුවුනත් සැබැවින්ම එතන දක්නට ඇත්තේ , කරුගේ ආගමනය රජයට සුලුවෙන් හෝ දැනී තිබිමය . නායකත්වය ගත්තත් රජයක් පිහිටුවීම තබා ශක්තිමත් විපක්ෂයක් බිහි කිරීම දක්වාත් ජයසුරිය මහතා විසින් කල යුතු දැ බොහෝ තිබුනත් , තමාට මෙතෙක් කාලයක් නොතිබුනු අභියෝගයක් එජාපයෙන් එල්ලවේයැයි පෙර සලකුණු රජයට දැනී මෙන් පෙන්නුම් කෙරෙන්නේ  රනිල්ට වඩා යමක් කරුට එජාපය තුල කල හැකි බැව් රජයද විශ්වාස කරනා බවයි .


 කරු ගැන රජයේ කලබලවීම හා රාජ්‍ය මාධ්‍ය වල හැසිරීම විස්තර කරගත්තත් ලංකා ඊ නිවුසියේ හැසිරීම නම් සම්පූර්ණයෙන්ම විසිලු සහගතය . රාජපක්ෂ පාලනයට  මඩ ගැසීම තම එකම මාධ්‍ය භාවිතාව කරගත් ඊ නිවුසිය හා එහි කමෙන්ට් හමුදාව ( මේ පුවත් වෙබ් අඩවි වලට ආවෙණික කමෙන්ට් කරුවන් ගැන වෙනම සටහනක් ලිවිය හැක ) කරු ජයසුරිය මහතා පතුරු අරිමින් සිටින්නේ ඇයිද යන්න පාඨ්කයින්ටත් ප්‍රශ්නාර්ථයක් බැව් ඔවුන් වටහා ගත යුතුය . මහින්ද් රාජපක්ෂ මහතාට හා ආරක්ෂක ලේකම් වරයාට මඩ ගැසීමෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට හා ෆොන්සේකා මහතාට කඩේ යාමෙන් පමණක්  ඔවුන්ගේ පරම උත්සහය වන ආණ්ඩුව පෙරලීම කෙරෙන්නෙ නැති තේරුම් ගත යුතුය . විශේෂයෙන්ම රටේ බහුතරයකගේ මේ මොහොතේ අපේක්ෂාව වන්නේ ශක්තිමත් විපක්ෂයක් බවත් , එජාප පාක්ෂිකයින්ගේ අපේක්ෂාව නැවතත් ගොඩ නැංවුනු පක්ෂයක් බවත් ආණ්ඩු පෙරලීම එන්නේ ඊලඟට බවත් තේරුම් ගත යුතුය

 රනිල් වික්‍රමසිංහ මහතාගේ දහං ගැට වලින් බේරී නායකත්වයට පත් වෙන්නට ලැබේවා යන්න කරු ජයසුරිය මහතා වෙනුවෙන් මාගේ පැතුමය .



පුහු ආටෝපයන් , පම්පෝරි සහ ගෝත්‍රික මතවාදයන් කරපින්නා  නොගත් මහත්මා දේශපාලකයෙකු වන කරු ජයසුරිය මහතා රටේ නායකත්වයටත් සුදුස්සෙක්  බව මාගේ විශ්වාසයයි (නායකයා වූ පසු වෙනස් වේ දැයි මා දන්නේ නැත , නමුත් පක්ෂය මාරු කල අවස්ථාවේ පවා ඔහුගේ දේශපාලනයේ වෙනසක් නොවු නිසා යම් විශ්වාසයක් තැබීමට කැමතිය ). ඔබගේ අදහස මීට ඉඳුරාම  වෙනස් විය හැක . ඒ ගැන කමෙන්ටුවකින් හෝ ඉහලින් ඇති ඡන්දයෙන් හෝ ප්‍රකාශ කරනා මෙන් ඉල්ලා සිටිමි !

Comments

  1. සමබර විග්‍රහයක්!

    ReplyDelete
  2. බොහෝ දුරට ඔබ සමග එකගයි..

    ReplyDelete
  3. මගේ අදහස නම් මෙම අර්බුදය රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකයා ඉතාම කදිමට සිය පැවැත්ම වෙනුවෙන් යොදා ගන්නා බවය.

    වික්‍රමසිංහ විපක්ෂනායකවරයා තමාට එල්ලවී ඇති විවිද චෝදනා හොදා ගැනීමට රාජ්‍ය මාධ්‍යම ඉතාම කදිමට පාවිච්චි කරයි.රජයද විපක්ෂනායකයාගේ උගුලේ හසුවී ඇත.

    කිලි රජාමහෙන්ද්‍රන්ගේ මාධ්‍ය ජාලය ඉවක් බවක් නොමැතිව වික්‍රමසිංහ විපක්ෂනායකයාට පහරදීම මගින් සිදුවන්නේ ඔහුගේ ප්‍රතිරූපය තවත් ශක්තිමත්වීම පමණි.

    කෙසේ වෙතත් මගේ පෞද්ගලික අදහස් නම මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ශ්‍රී ලංකාවේ දේශපාලය මෙහෙයවිමට ඉඩ නොදිය යුතු බවයි.

    -Nathan-

    ReplyDelete
  4. සඳහන් කල එක පුද්ගලයෙක් ගැනවත් හරි හැටි නොදන්නා නිසා ලිපිය ගැන කොමෙන්ට් එකක් නොදැම්මත්, ලිපියෙ මුල හරියේ තිබූ ප්‍රකාශයක් නිසා ප්‍රශ්නයක් මත වුනා. මම හිතා හිටියෙ, මහින්ද රාජපක්ෂ මහත්තයට ගංගොඩවිල විශ්ව විද්‍යාලයෙන් උපාධියක් තියෙනව කියල. ඒක වැරදිද?

    ReplyDelete
  5. සියලු කාරනා හා එකඟවිය හැක. නමුත් ජනතාව සිතන් දේ හා මා සිතන දේ ඔබේ මත දැක්වීම මගින් හා මගේ බ්ලොග් අඩවියේ අති මත පලකිරිමෙන්ද බලා ගත හැක. කරූට වඩා මහින්ද හොඳයි. එකෙකුටවත් බය නෑ. කරූ ආවෝත් බලන්න වෙන්නේ සංඝ බජව් තමයි. ආයෙත් රජ කාළේට නම් යන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  6. යූන්පීයට හෝ කිසිම පක්ශයකට මා මනාප නැති නිසා කරෑ ජයසූරිය ඔහුගේ පිටුපස සිටිනා සජිත් ප්‍රේම‍දාසට යූන්පීයට රනිල්ට වැඩියෙන් ඡන්ද ලබා දිය හැකිද යන්න මට වැඩක් නැත. මට වැදගත් වන්නේ අදාල පුද්ගලයාගේ දර්ශනය සහ එයින් රටට සමාජයට වෙන බලපෑම පමනි, පක්ශයකට වෙන හොන්ද නරක මට වැඩක් නැත. කරූ ජයසූරිය පිටුපස සිට තම ඇජෙන්ඩාව ක්‍රියාත්මක කරගන්නට හදනා සජිත් ප්‍රේමදාස පැහැදිලිවම රාජ්‍ය පාලනය, ආගම සහ ජනවර්ගය පටලවාගෙන බහු ආගමික ගෝත්‍රවාදී ආන්ඩුවක් කරා යන්නට තනන බව පෙනේ. ආගමත් ජනවාර්ගිකත්වයත් රාජ්‍ය පාලනය සමග මේ වන විටත් ඕනවට වඩා පටලැවී ඇත, එහි ප්‍රතිපලයක් ලෙස ලංකාව ආගමික අන්තවාදීන්ගේ හා ජාතිවාදීන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත. සජිත්‍ ප්‍රේමදාස හෝ කරූජයසූරිය විපක්ශ නායක වුවහොත්, කරුමෙටවත් රටේ නායකයා වුවහොත් ඔය තත්වය වඩා බරපතල වේවි. මොවුන් මහින්ද රාජපක්ශ පරාජය කරන්නට හදන්නේ ඔහුට විරුද්ධ මත දරා නොව ඔහුගේ මත වලම තවත් අන්තයට ගිය සජිත් වැනි රාජපක්ශ කොපි නිර්මානය කිරීමෙන්ය. රනිල්ද එන්න එන්නම ඔය පැත්තට බර වෙන බවක් පෙනේ. නමුත් සජිත් තරම් නැත, එම නිසා යූන්පීයට කෙසේ වෙතත් කරූ හෝ සජිත් නායකයා වීම රටට නම් හෙනයක්ම වනු ඇත.

    ReplyDelete
  7. සබිත්, අසංක - බොහොම ස්තුතියි

    නාදන් - අලුත් අදහසක් (මට නම් ) ,මාධ්‍ය ප්‍රධානින් පක්ෂ වල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසිය යුතු නැය කියන එක නම් මගෙත් අදහසක් . කොහොම උනත් රනිල්ගේ ප්‍රතිරූපයට බරපතල හානියක් රාජ්‍ය මාධ්‍ය වලින් නම් වෙලා තියනව කියල මම හිතන්නේ , ඒ මොකද සමහර ප්‍රදේශ වල ජනතාවට යන්න රාජ්‍ය මාධ්‍ය වල මතය විතරක් නිසා . එහෙම එයත් එක්ක ගැවසෙත්දි මට පෞද්ගලිකව දැනුන දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ ඒ අය අතර විහිලුවට ලක්වෙලාය කියන කාරණය , ස්තුතියි අදහසට

    ඔබා- එතුමා ඒකට ගියේ රස්සාවක් කරන්න , උපාධියක් ගන්න නෙවේ

    මාතලන් - එහෙම නම් මර්වින්ව දාමු පොර මොකාටවත් බය නැති මහින්දටවත් බය නැනේ :) , කොහොම උනත් ඔය බය නැති කමයි මෝඩ කමයි කියන දෙක අතර තියෙන්නෙ චූටි වෙනසක් , ආයුධ ගත්ත 100ක් ඉස්සරහට නිරායුධව පනින එක නිර්භීත කමක් වගේම අමු ගොන් කමක් . ඒ නිසා වඩාත්ම බය නැති එකාම නායකයට සුදුසුයි කියල මම නම් හිතන්නේ නැ

    ReplyDelete
  8. sevanali - මෙහෙමයි සහෝදරයගෙ කථාව හරි නමුත් ප්‍රායෝගිකව ලංකාවේ ගෝත්‍රවාදය සම්පූර්නයෙන්ම අත්හැරපු කෙනෙකුට බලයට එන්න බැ , රනිලුත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයො වගේ වචන භාවිතා කරගෙන ඒ තැනට එන්න උත්සහ කරන්නේ ඒකයි . එජාපය කියන්නේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකෙන් එකක් , රටේ විපක්ෂය ඒ නිසා ඔවුන් ශක්තිමත් වීම පක්ෂයකට බැඳිල නැති අයටත් වැදගත් මොකද , ගෝත්‍රවාදය ඇතුලෙම හරි ප්‍රජාතන්ත්‍රවාදය මේ ප්‍රමාණයෙන් හෝ රැකෙන එක අවශ්‍යයයි . ඒ වගේම සජිත් හෝ කරු (සජිත් නම් මාත් එතරම් ප්‍රිය කරන චරිතයක් නෙවෙයි ) ගෝත්‍රවාදය තුලින් මහින්ද රාජපක්ෂ ආකෘතියට සමාන වුනත් අනෙකුත් අංශ වලින් වෙනස් වෙන්න පුලුවන් . කොහොම උනත් කරු ජයසුරියගේ ආගමනයෙන් මම බලාපොරොත්තු වෙන්නෙ දේශපාලනික සමබර තාවයකට රටපත් වීම . කරුත් ගෝත්‍රවාදියෙක් කියල රනිල්ගේ නායකත්වය දිගටම තියා ගත්තොත් සමහර විට මේ තියන තත්වය දිගින් දිගටම ලංකාවේ පවතිවි , කොහොමත් එක නිසා චාන්ස් ඒකක් අරගෙන බැලීම වරදක් නැ නේ ?ස්තුතියි අදහස් දැක්වීමට

    ReplyDelete
  9. වැඩි දෙනෙක්ව තමන්ගේ මතයට එකතු කරගන්නට තමන්ගේ මතයට වෙනස් කම් සිදු කිරීම මා අකමැති දෙයකි. තමන්ගේ මතය වෙනස් වූ කල කොපමන පිරිසක් තමා වටා එකතු වුනාට වැඩක් නැත. ඒක හරියට හොන්ද චිත්‍රපටියක් විකුන ගන්නට බැරි උනු තැන කතාවට වෙනස් කම් සිදුකොට බන්දුගේ හා ටෙනිසන්ගේ මෝඩ ජෝක් ටිකක් ඇතුලත් කිරීමක් වැනිය, චිත්‍රපටියේ අරමුන එතනින්ම බිඳවැටේ. එමෙන්ම විපක්ශය ශක්තිමත් වුනාට වැඩක් නැත, ඔවුන් හදන්නේ හානිකර මත ප්‍රමෝට් කොට ශක්තිමත් වීමට නම්. එමෙන්ම මගේ මතයට අනුව නියම පාලකයෙකු යනු වැරදි වුවත් ජනතාවට ඕන දේ දෙන කෙනෙකු නොව, වැරදි පාරේ යන ජනතාවට හරි මාර්ගය පෙන්විය හැකි නායකයෙකි. එදා සුද්දාගේ මතයට බයේ ඔවුන්ගේ පාලකයනුත් හිස නමාගෙන සිටියානම් අදටත් කල්ලෝ වහලුන්ය. එම නිසා හැමදාම චන්දය දිනා ගන්න අරමුනින් මේ මත ‍මෙහෙමම අරන් ගියොත් කවදාවත් නැති වෙන්නෙ නැහැ, කවද හරි කාට හරි risk එකක් ගන්න වෙනව. ඒ දේ රනිල්ට කරන්න බැහැ, නමුත් සජිත් කරන්න හදන්නෙ තියෙන තත්වය තවත් බරපතල කරන්න යන එක

    ReplyDelete
  10. ඇත්ත ගොඩාක් සමබරව ලියලා තියෙනවා! 100% ක් ඔබගේ කරැණු සමග එකග වෙනවා 1ක් හැර ....
    එඡාපය දාලා කරැ ගියේ බලතණ්හාවකට නොවයි.....
    අනික එයා එදා කරපු වැඩෙ 100% ක් හරි ඒ වෙලාවෙ හැටියට ....අදට අනුව ඒක වැරදිවෙන්න පුලුවන් ...ඒත් ඒකට වැරදි බලතණ්හාවට පක්ෂ මාරැකරපු අය මිස ඡයසුරිය නෙවෙයි

    ReplyDelete
  11. කරූත් සජිතුත් හොඳ නමක් ඇති පුද්ගලයන් නායකයන් බව රහසක් නොවේ. ඒත් රටේ බලය ගන්නට පෙර,
    විපක්ශයක් වසයෙන් සිය කාර්‍යභාරය වන ආන්ඩුවේ වැරදි ප්‍රතිපත්ති, ජනතා විරෝදී වැඩ විවේචනයට ලක් කල යුතුය. විකල්ප ප්‍රතිපත්ති වැඩ පිලිවෙල ඉදිරිපත් කල යුතුය, හැකියාවන් ඇති පුද්ගලයන්, නායකත්වයන් පුහුණු කල යුතුය, විරෝදතා ව්‍යයාපාර දියත් කළ යුතුය. ඉතිහාසයක් තිබිය යුතුය, නියෝජනය කරන පංතියේ සහයෝගය ගරුත්වය දිනා ගත හැකි නායකයෙක් විය යුතුය. ලංකාවේ සෑම ජන කොටසකගේම විශ්වාසය දිනාගත හැකි විය යුතුය............

    ReplyDelete
  12. තනදි බය නැති කම කියල මම අදහස් කලේ මර්වින් වගේ චන්ඩියෙක් කියන එක නෙමයි. ආරථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් තීරණ වලදි මොකා කෑ ගැහුවත් ගනන් ගන්නේ නැති එක. උඹ නිකන් හිතපන් ඔය සංචාරක කර්මාණ්තේ දියුණු කරන්න කරන වැඩ යූ ඇන් පීය කලා නම් එහෙම කොහොමද සාදුලා අඳන කඩෙත් උස්සන් එන්නේ. දැන් බලපන්කෝ බල්ලො වගේ දෙන දෙයක් වළඳලා වෙන දේ බලාන ඉන්න අපූරුව...

    ReplyDelete
  13. රනිල් හෝ කරු දෙන්නාගෙන් කවුරු ආවත් නැතත් යූඑන්පී එක දිනන්ට නම් පක්ෂයේ ලොකු වෙනසක් විය යුතුයි. පක්ෂයට අවශ්‍ය ජේ ආර් වගෙඔ ෆොක්ස් කෙනෙකුත් ආර්පී වගේ කටක් ඇති පහලටම බහින්න පුලුවන් කෙනෙකුයි තව හොඳ මොළ දෙක තුනකුයි විතරයි. පතෝල වැටකොළු පොරවල් හිටියොත් අනාතම තමයි.

    ReplyDelete
  14. මේ අවස්තාවේදී සලකා බැලියයුතු කාරණා දෙකකි.
    1. පුද්ගලයා කවුරුන් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝගයක් වියහැකි අයෙකු නායකත්වයට ගෙන ඒම තුලින් හැකි ඉක්මනින් රජයක් පිහිටුවීමේ බලාපොරොත්තු ඇතිකරගැනීම.
    2. හොද අයෙකු නායකත්වයට පත්කර ගැනීම.(මෙහිදී ඔහු රනිල්ට වඩා ප්‍රසාදයක් ඇත්තෙකු වියයුතුය)
    ඉහත අංක 1 කරුණට අදාලව සැලකුවහොත් මා දකින සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාසය. ඔහුගේ දේශපාලන මෝඩකම්- ළදරු ස්වභාවය කෙසේ වෙතත් රේස්එක දිනියහැකි අශ්වයා ඔහුය.(ඒ පිළිබද තර්ක කරන්නෙකුට පසුගිය මැතිවරණවල මනාප ප්‍රථිපල අධ්‍යනය කලහැකිය). කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැරදි ක්‍රියාකලාපයන් වෙනුවට වඩා ප්‍රශස්ත ජනාධිපතිවරයෙකු සජිත් ප්‍රේමදාස තුලින් මා බලාපොරොත්තු නොවෙමි. කොටින්ම සජිත් යනු මහින්ද මෙන්ම මල් වට්ටිය ගෙන පන්සල් යන දරුවන් වඩාගන්නා අයෙකු පමණක්ම වනු ඇත.

    අනෙක් අතට කරු ජයසූරිය මහතා යම් තරමකට ජනාධිපතිවරයාට විකල්පයක් වියහැකි මෙන්ම හොද යයි කිවහැකි නායකයකු බව මගේ අදහසයි.(ඔහු රාජ්‍ය පරිපාලන ඇමතිවරයාව සිටි සමයේ මේ ගුණාංග හදුනාගැනීමට හැකි විය). එහෙත් ඔහුගේ ජනප්‍රියත්වය ගැන සදහන් කල නොහැක. පළමු වතාවේදී දිස්ත්‍රික්කයේ වැඩිම මණාප ලබා පාර්ලිමේන්තුවට පැමිණියද පසුගිය මැතිවරණයේදී (මතක හැටියට) පබාටද දෙවැනි විය.

    ReplyDelete
  15. තවත් සාර්ථක විචාරයකි... අග භාගයේදී කරූට බර වැඩිවූවාදැයි සිතේ... කරූට චෝදනා නෑ කිව්වාට, ආණ්ඩුවේ ඉන්දැද්දී කෝප් චෝදනා ආවා නේද ?

    කොහොම වුනත් බුවා කියන කරුණු එක්ක මගෙත් අදහස සජිත්ට වඩා කරූ හොඳයි කියන එකයි. මේ වෙලාවේ වැදගත් වෙන්නේ මහින්ද ජනාධිපති පරාජයය කිරීමට චරිතයක් සෙවීම නොව ඔහුට අභියෝගයක් විය හැකි ශක්තිමක් විපක්ෂයක් බිහිකිරීමයි. නැත්නම් වෙන්නේ ආණ්ඩුව පාලුගෙයි වලං බිඳින එක.

    ආණ්ඩුවට බහුතරය අයිතියි තමා.. ඒ කියලා හැම ඩ්‍රයිවර්ම හෙල්මට් දාන්නෝන කියලා පනතක් ගෙනල්ලා සම්මත කරගත්තොත් !!! අපිත් බස් වල යන්න වෙන්නේ හෙල්මට් දාගෙන. විපක්ෂයේ කාර්යය කර අරින එක නෙවේ. සාධනීය විවේචනය... අද ලංකාවේ නැත්තෙත් ඒක...

    කරු බැරිනම් දෙබල් හරි කමක් නෑ ඇවිත් ශක්තිමත් විපක්ෂයක් හැදෙනවා නම්...!

    ReplyDelete
  16. @මාතලන් - මේකයි සාදුල අඳනේ උස්සගෙන ආවට ගනන් ගන්නෙ නැතුව ඉන්න පුලුවන් "විධායක පට්ටමක්" ලංකාවේ තියනවනේ , ඒක ලැබුනා නම් රනිල් උන්නැහැත් පක්ෂේ ඇතුලේ තියන හිට්ලර් පාට් එක දාල ඕනි වැඩේ කරගනියි.මම නම් හිතන්නේ වැදගත් මනුස්සයෙක් රටේ නායකය වෙන්න ඕනි කියල , මොකද නිර්භීතව වැඩ කරන්න පුලුවන් තනතුර ජේ.ආර් පප්පා හදල දීල තියෙන්නෙ ,

    @කැන්ඩියන් - ජේ.ආර් ගේ බැන පොඩ්ඩවත් ඒ වගේ නැනේ , හැබැයි ආර්.පී ජුනියර්ට නම් පල්ලෙහාට බහින්න පුලුවන් , තාත්තා වගේම . කරු උන්නැහේට හීන් සැරේ කැඩිල බිඳිල තියන කැලි එක්කහු කරල යමක් කරගන්න පුලුවන් වෙයි .පතෝල වැටකොලු වගේ පෙන්න තිබුනට කරුට පක්ෂය ඇතුලෙ යමක් කරන්න පුලුවන් , මොකද එජාපයේ ඉන්න සංවිධායක වරු වගේ තත්වයේ අය ගොඩ දෙනෙකුට රනිල් ලොක්කව එපා වෙලා තියෙන්නෙ ,

    රාජ්- අවිවාදයෙන්ම ජනප්‍රියම කෙනා සජිත් , ඒත් පොරට ආවයි කියල රටට නම් වැඩක් වෙයි කියල දැනට නම් පේන්න නැ , කරුට මනාප අඩුවුනේ පිලි මාරුවෙන් , ඒත් එජාප පාක්ශික ඡන්ද ආයෙමත් එකතු කරන්න පක්ෂයේ පහල මිනිස්සුත් එක්ක වැඩ කරන්න පොරට පුලුවන් . ජනාධිපතිවරණයක් වගෙ එකකදි පාවෙන චන්ද ඇද ගන්න අවශ්ය කරන වැදගත් කම , සහ දේශපාලන බුද්ධිය කරුට තියෙයි කියල මම හිතනව

    චතුරංග- ස්තුතියි සහෝ , ඇත්තෙන්ම කරුට බර වුනේ මම පලමු වතාවට බ්ලොග් අඩවියෙන් දේශපාලකයෙකුට කෙලින්ම සපොට් එකක් පෙන්වපු නිසා . පක්ෂ මාරුව ඇරුණාම කරු ජයසුරිය කියන පුද්ගලයාට මම කැමතියි . ඒ වැදගත් කම තමයි මම රටට අවශ්‍යයි කියල දකින්නෙ . කෝප් කථාව නම් නිකන් කට කථාවක් විතරයි මම හිතන්නෙ නැතන්ම් , කරු ආපහු ගියාම ආණ්ඩුවෙන් අදිනව .රනිල් ගෙ ප්‍රතිපත්ති එක්ක නම් මගේ ගැටලුවක් නැ (ගොඩක් දුරට කරුත් ඉන්නේ ඒ ප්‍රතිපත්ති වලම තමා ) ඒත් රනිල් නිසා එජාපය කුඩු පට්ටම් වෙලා රට ඒක පාක්ෂික රටක් වේගෙන එන නිසා රනිල් කියන පුද්ගලයට වඩා කරු කියන පුද්ගලයට තැන දෙන්න වුනා . සහෝ කියනව වගෙ පලමු අවශ්‍යතාව ශක්තිමත් විපක්ෂයක් , දෙවැන්න මහින්ද රාජපක්ෂට විකල්පයක් . මහින්ද රාජපක්ෂගෙ කාබන් කොපියක් ශක්තිමත් විපක්ෂයක් හැදුවට් අපිට වැඩක් නැ , ඒක හොඳයි එජාප පාක්ෂිකයින්ට

    ReplyDelete
  17. මචෝ , උඹ කියල තිබුනට "ජයසුරිය මහතා ට එරෙහිව දූෂණා චෝදනා හෝ මැර දේශපාලනය පිලිබඳ චෝදනා එල්ලවී නොමැත " කියල
    විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එයා සම්බන්ධව කරපු දුෂණ වංචා ගැන ලිපිගොනු ගණනාවක් තියෙනවා. වගකීමෙන් කියන්නේ.
    දේශපාලන බලය නිසා ඒවා හමස් පෙට්ටියට ගිහිල්ල තියෙන්නේ. දන්නෝ දනිති.

    ReplyDelete
  18. Chathuranga Perera
    කෝප් වලින් පෙන්වාදුන් වංචා ගොඩේ කරු නෑ.හිටියනං උන්නැහෙටත් ෆොන්සේකගෙ එහාපැත්තෙ කූඩුවෙ ඉන්න තිබුන.

    ReplyDelete
  19. @ Raj / Buwa
    මම කිව්වේ අහල තිබුණු දෙයක්... නැතුව මඩක් වත් වෙන මොකක් වත් හිතේ තියාගෙන නෙවෙයි. මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරයි කියලා මම බලාපොරොත්තු වුනා... දෙන්නටම ස්තුතියි...

    ReplyDelete
  20. "පාතාල නායකයින් හා බටලන්ද වධකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් ඒවා ඔප්පු වී නොමැත ."

    සහෝදර සමාගමට ඇති දුෂණ චෝදනා බොහොමයක්ද මෙවැනිම ඔප්පු නොවූ ඒවාය.

    " විශේෂයෙන්ම රටේ බහුතරයකගේ මේ මොහොතේ අපේක්ෂාව වන්නේ ශක්තිමත් විපක්ෂයක් බවත්"

    රටේ බහුතරයකට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මේ ආණ්ඩුව වඩා යහපත් වීම පමණි.

    රටේ බහුතරය යනු බ්ලොග් ලියන කොමෙන්ට් දමන සුළුතරයට නොවේ.ආණ්ඩුවට සාධාරණ ලෙස සහය වන විපක්ෂ ලංකාවේ බිහි වීම සිතිය නොහැකි කාරණයකි. එනිසා ශක්තිමත් විපක්ෂයක් ඇතිවුවහොත් ඒ කරන්නේ කොල්ලෙන් හෝ වල්ලෙන් තිබෙන ආණ්ඩුව පෙරලීම පමණි. මන්ද මහත්මා දේශපාලනය කියා දෙයක් ක්‍රියාවෙන් නැත(නමුත් මහජනයා අද්දවා ගැනීමට "මහත්මා දේශපාලනය" කියා දෙයක් කීප දෙනෙක් හදා ගෙන ඇති බව පෙනේ).

    ඉ නිවුස් ගැන (කරූ විරෝධය) ඒ නිරීක්ෂණය මම කලින් නොදැක්කෙමි. මෙය මංගල සමරවීරට සම්බධකම් ඇති එකක් විය හැකි යයි ඇති ආරංචිය ඇත්ත වීමට ඉඩ ඇත.

    රාජ්‍ය මාධ්‍ය රනිල්ට සහය දැක්වීම පුදුමයට කාරණයක් නම් නොවේ.

    මගේ කතාව

    ReplyDelete
  21. @මගේ කථාව - විපක්ෂයේ ශක්තිමත් බව අවධාරණය කරන්නේ බ්ලොග් කරුවන් පමනක් නොවේ,එදිනෙදා ජිවිතයේ කථා බහ තුලදී ඒ පිලිබඳ අවධාරණය කරනා බොහෝ දෙනෙකු ඇත , මහින්ද රාජපක්ෂට ඡන්දය දීමෙන් නොනැවති මහින්ද හැර වෙනත් විකල්පයක් රටට අවශ්‍ය නැති බැව් අදහමින් සිටිනා අයට නම් එසේ සිතෙනවා ඇත . යුද්ධය වෙනුවෙන් මහින්ද දිනවූ අති බහුතරයක් ජනතාවට එලවලු ටිකක් ගන්න පොලට ගිය විට , ලබන පඩියෙන් ජීවත් වෙන්නට බැරි විට මහින්දම තව විසි වසරක් බලයේ සිටිවා කියා කියවෙන්නේ නැත , ඔවුන්ට අවස්ථාවක් ලැබුනු විට ඔවුන් විරෝධතාවය දක්වනු ඇත , රනිල් යන පුද්ගලයාට ඇති අප්‍රසාදය ජනතාව අදාල විරෝධතාවය දැක්වීමට විකල්පය ලෙස විපක්ශය තෝරා ගැනීම වලකා ඇත

    රාජපක්ෂලාට ඇති චෝදනාද , ඔප්පු නොකල ඒවා බව සැබැය , පවතින බලය හමුවේ ඒවා ඔප්පු වන්නේද නැත . බටලන්ද ගැන රනිල්ට චෝදනා කර චන්ද්‍රිකා සමයේ නඩු පැවරුවත් ඔහු නිදොස් විය ,

    ReplyDelete
  22. @මගේ කථාව - චන්ද්‍රිකාගේ 1994 රජය එක් මන්ත්‍රි ආසනයකින් වැඩි වූවකි , රනිල්ට අවශ්‍යතාවයක් තිබුනා නම් එය වැට්ටවීමට හැකියාව හොඳින්ම තිබිනි .නමුත් ඔහු එවැන්නක් කලේ නැත .ලංකාවේ සියලුම දේශපාලකයින් රස්තියාදු කාර චණ්ඩින් නොවේ , මහත්මා ලක්ෂන ඇති පුද්ගලයෝද සිටිති .

    ReplyDelete
  23. රනිල් ගේ මහින්ද අසුන්දර වීමට හොඳටම සුදුසුකම් සපුරා ඇත........

    ReplyDelete
  24. මහින්ද හැර විකල්පයක් රට අවශ්‍යද යන්න කෙසේ වෙතත් ඇති විකල්ප කිසිවක් ජනතාවට ප්‍රිය නැත. ඒ නිසා මහින්දගේ වැරදි නිසා ඊටත් අන්ත අයට බලය දෙන්නට නැත්නම් කර උඩ තබා ගෙන ගොස් සිංහාසනයේ තැබීමට බහුතරයකට උවමනාවක් නැත. අවශ්‍ය ශක්තිමත් විපක්ෂයක් ඕන යයි කියන අය නොව ශක්තිමත් විපක්ෂයට චන්දය දෙන අයය. මට හමුවන අයගෙන් නම් ශක්තිමත් විපක්ෂයක් නිසාම UNP ට චන්දය දෙන අය නම් අඩුය. වැඩිම උවහොත් චන්දය නොදී සිටීම කරති.

    94 කාලය වන විට UNP තිබුනේ ජනතාවට අප්‍රිය වීය.ඒ තත්වය යටතේ මුදල් දී මන්ත්‍රී වරු ගැනීම දුෂ්කරය. ඇරත් මන්ත්‍රී වරු ගැනීමෙන් කල හැකි එකම දේ නව මැතිවරණයකට යාමය.77-93 කාලය ගැන ජනතාවට ඇතිව තිබු අප්පිරියාවට වඩා අප්පිරියාවක් චන්ද්‍රික තම ගැන ජනතාව තුල ඇති කර ගන්න තුරු ඒ තිබු ආණ්ඩුවට අබියෝග කිරීම තේරුමක් නැත. ජනාධිපති එක් පක්ෂයකත් පාර්ලිමේන්තු බලය තව එකකටත් තිබීම අසාර්ථකය. ඒ ලයේදීත් රනිල් ගේ නායකත්වය ගැන ප්‍රශ්න තිබුණි( සුළුවෙන් හෝ ).

    දේශපාලනය තුල මහත්මා ගුණ ඇති අය සිටිනවා වීය හැක. නමුත් මහින්ද, රනිල්, සජිත්, කරු ආදී කිසිවෙක් මේ කුලකයට නොවැටේ. එසේ කියා ඔවුන් රස්තියාදුකාර චන්ඩි වන්නේ නැත. එවිට වන්නේ ඔවුන් සාමාන්‍ය දේශපාලකයන් වීමය.

    බටලන්ද ගැන රනිල්ට තබා ඩග්ලස් පිරිස් ටවත් නඩු දමා ඇද්දැයි මම නොදනිමි. කෙසේ වෙතත් බටලන්ද කොමිසමේදී රනිල් ගැන වැඩි දුර එලියට නාවේ ඒ ගැන සිටි වැදගත්ම සාක්ෂි කරු සාක්කි දීමට දින කීපයට පෙර මිය යාමය(මේ ගැන නිසි විමර්ශනයක් වුව දැයි මම නොදනිමි). මේ ගැන විස්තර බටලන්ද කොමිසම් වාර්තාවෙන් බල ගත හැක. රනිල් කොටරම් දුරට මිට ගෑවී ඇද්දැයි එය කියවීමෙන් බල ගත හැක.
    රනිල්ද චන්ද්‍රිකාට එරෙහිව දුෂණ වංචා සෙවීම නොකර ලදී. (වික්ටර් අයිවන් ට අනුව උවමනාවෙන්ම මග හරින ලදී)
    දුෂණ චෝදනා ගැන ඇත්තේ බලය ගැන ප්‍රශ්නයක් නොව බල්ලන් බලු මස් නොකැම ගැන ප්‍රශ්නයකි.

    චන්ද්‍රිකාගේ කාලය තුල 77-93 කාලය තුල සිදු වූ කිසිම දුෂණ, අපරාධයකට රජය නඩු පැවරීමට මැදහත්වීමක් වුයේ නැත. සිදු වුයේ කොමිසම් දැමීම හා ඒ කොමිසම් වාර්තා පුස්කමින් තිබීම පමණි. හොදම උදාහරණය චන්ද්‍රික මැදිහත් වී ගොඩගත් සුරියකන්ද සමුහ මිනි වලය.

    ම.ක.

    ReplyDelete
  25. මීට වසර 2කට පමණ පෙර මා නම් සිටියේ රනාල් දිහා හැරැලවත් නොබලන ස්ථාවරයක.නමුත් අද වන විට අපට අවශ්‍ය රනිල්වගේ බටහිර සමග කටයුතු කල හැකි රාජ්‍යතාන්ත්‍රිකයෙක්.රනිල් ගේ මහත්මා ගති බොහොමයක් අගය කළ යුතුයි.

    කරු හොදයි තමයි.ඒත් ...... ප්‍රශ්නාර්ථයක් තියෙනවා.(වයස උනත් වැඩියි නේ)සජිත් ගේ නම් කිසිම ප්‍රතිපත්තිමය පසුබිමක් පේන්නේ නෑ.දුගී දුප්පත්කම නැති කරනවා කියල මන්තරයක් වගේ මතුරනව මිසක.

    ReplyDelete
  26. 2005 ඡන්දය කාලේ මාත් හිටියෙ(ඡන්ද බලයවත් නැතත් ) රනිල්ව පෙන්නන්න බැරි තත්වයක . රනිල් කියන්නෙ දේශද්‍රොහි කොන්ද පණ නැති දොන් ජුවන්කෙනෙක්ය කියලයි හිතාන හිටියේ .කාලයත් එක්ක තමයි රනිල් කියන සුවිශේෂ දේශපාලන චරිතය කව්ද කියල වැටහුනේ . නමුත් ජයශ්‍රි සහෝ ලංකාවේ බහුතරයක් රනිල්ව තේරුම් අරගෙන නැ , වෙන එකක් තියා යූඇන්පී කාරයොවත් ,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව