Skip to main content

ආගමේ නාමයෙන් සත්ව ඝාතනයට , මනුෂ්‍යත්වයෙ නාමයෙන් එරෙහි විය යුතුය

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ මිලේච්ඡ සත්ව ඝාතනය මෙවරත් සිදුවන බැව් වාර්ථා වී තිබේ . පසුගිය වසරේත් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම සිංහල බ්ලොග් අවකාශය තුලද සැහෙන  තරමේ සංවාදයක් මතුකල බවක්ද මතකයේ තිබේ . මෙයට පක්ෂපාතීත්වය දක්වනා පිරිස් මතුකරන මූලිකම තර්කය වන්නේ ආගමික නිදහසයි .

ශ්‍රි ලංකාව තුල ඕනැම පුද්ගලයෙකුට තම ආගම නිදහසේ ඇදහිය හැකි බවට කිසිදු විවාදයක් නැත . එම අයිතියට බාධා කිරීමේ  හැකියාවක් කිසිවෙකුටත් නොමැත . නමුත් යම් ආගමකින් සමාජයට අහිතකර බලපැමක් සිදුවෙනවා නම් ආගම ඇදහීමේ අයිතියේ නාමයෙන් ඊට ඉඩ දිය නොහැක . බිලි පුජාවන් යනු මිනිසාගේ පරිණාමනයේ එක්තරා අවධියකදී බහුලව භාවිතා කල පුජා විදි ක්‍රමයක් මුත් නූතන ශිෂ්ඨාරවත් මිනිසාට කිසිසේත් නොගැලපෙන්නකි . අද ලෝකයේ භාවිතා වන  ප්‍රධාන ආගම් කිසිවක බිලි පූජාවන් දක්නට ලැබෙන්නේද නැත . හලාවත සිදුකරන්නාවු මේ කියනා බිලි පුජාවත් අවිහිංසාව මුල් කරගත්  බහුතර හින්දු භක්තිකයින්ගේ පූජා ක්‍රමයක්ද නොවේ . ආගමකින් මිනිසාට , සත්වයාට , මහ පොලවට සිදුවිය යුතු සුභ සිද්ධිය පසකලා අහිංසක සතුන් දහස් ගණනකගේ  ජීවිත තොර කිරීම  යම කෙනෙකු අනුමත කරනවා නම් ඒ ඔහුගේ  සිතුවිලි මිලේච්ඡත්වයේ සිට ශිෂ්ඨාචරයට පරිණාමය වී නොමැති නිසාවෙන් විය යුතුය

 මීට විරෝධය පල කිරීම බෞද්ධයන් විසින් හින්දූන්ට එරෙහිව  කරනා බලපැමක් හෝ මේ සිංහල බෞද්ධා රාජ්‍යය නිසා  සිදුකරන විරෝධයක් නොව මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාවක් වෙනුවෙන් මිනිසුන් ලෙස එරෙහි වීමක් විය යුතුය . සිංහල බෞද්ධ (යැයි කියා ගන්නා ) අන්තවාදීන් එරෙහිවන දෙයකට එරෙහිවීම පිලිබඳ ගැටලුවක් තිබෙනා බවක්ද දක්නට ඇතත් , නිවැරදි දේ වෙනුවෙන් පෙනිසිටීමට ඒ වෙනුවෙන් පෙනී සිටිනා අනෙක් පුදගලයින් හෝ ඔවුනගේ දේශපාලනික අරමුණු බාධාවක් කරනොගත යුතුය

පසුගිය වසරේ මේ පිලිබඳ ඇතිවුන කථා බහේදී මස් මාංශ අනුභවය හා මේ සිදුවීම එකට ගැටගසනා තත්වයක්ද දක්නට ලැබුනි .  නිර්මාංශික වීම මේ වෙන විට එකතරා දුරකට "ශෝ" එකක් බවටපත්ව ඇතත්  මාංශ අනුභයට වඩා නිසි ලෙස පිලිපදිනා නිර්මාංශිකත්වය යහපත් බැව් පැහැදිලිය . එනම් මාංශ අනුභය යහපත් දෙයක් නොවන අතර මාංශ අනුභව කිරීමට හොඳ නම් බිලි පූජා කෙරුවාට කමක් නැත යන තර්කයටද පදනම්ක් නැත . අනෙක් අතට පාරිබෝජනය වෙනුවෙන් සිදු කරනා සත්ව ඝාතනය (මෙය හලාල් වැනි ම්ලේච්ඡ ක්‍රම වල සිට , ඇතැම් රටවල භාවිතා කරන අමානුෂිකත්වය සැහෙන තරම් අවම  ක්‍රම දක්වා විහිදෙන බවද දක්නට ඇත )  . එක්වර සතුන් රාශියක් ඝාතනය  කරමින් සිදු කරනා බිලිපූජාවන් අතර එහි අරමුන , සමාජීය බලපැම , ප්‍රතිඵලය යන කාරණා මතපදනම් විශාල වෙනස් කමක්ද දක්නට ඇත .

ආගමික බේදයකින් නොව , ජපානයේ තල්මසුන් දඩයමට , ස්පාඤඤයේ ගොන් පොර  ආදියට  විරෝධය පල කරනා මනුෂ්‍යත්වයේ නාමයෙන් මීට විරෝධය පල කිරීම සියලුම ශ්‍රි ලාංකීය පුරවැසියන්ගේ /ලෝ වැසියන්ගේ යුතුකමකි

Comments

  1. බුවා මචන් නියම කතාවක් ඇදලා අරන් තියෙන්නේ...දිර්ග කතිකාවක් ගොඩ නෑගුනනම් හොදයි කියලා මම හිතන්නේ,

    ReplyDelete
  2. අතීතයේ පටන් ලංකාවේ තිබුණේ ඔය බිලි පූජා වලට විරුද්ධ සංස්කෘතියක්... අහලා ඇතිනේ රාවනා රජුගේ පිරිස් ඉන්දියාවේ බිලි පූජා, යාග හෝම වලට විරුද්ධව කටයුතු කරපු හැටි.

    නමුත් අද ලංකාවේ සමාජය හැටියට එහෙම කාටවත් එතනට ගිහින් ඒ බිලි පූජාව කඩාකප්පල් කරන්න පුළුවන්ද? උන් කෑමොර දේවි ලංකාවේ දැන් ආගමික නිදහසක් නෑ! සුළු ජාතීන්ට පීඩා කරනවා කියලා.

    ආගමේ නාමයෙන් මෑතක් වනතුරු ඉන්දියාවේ මිනිස් බිලි පූජා පවා පැවැත් වුණා. එය ඔවුන් වරදක් හැටියට දකින් නෑ. මොකද ඒ ආගමනේ! තමන් කරන්නේ විමුක්තිය ලබා ගැනීමට ඉඩ ලබා ගැනීමක්.

    තල්මසුන් දඩයමට ලොව පුරා ජනතාව විරුද්ධ වුනත් ජපානය එය නැවැත්තුවාද? ස්පාඤඤය ගොන් පොර නැවැත්වූවාද?

    ආකල්ප වෙනස් වනතුරු මෙය නවත්වන්න බෑ!

    ReplyDelete
  3. එකඟයි . අපි දන්නා ඉන්දියානු හින්දුන් බොහෝ අවිහින්සාවාදීන් . ඔවුන් මට කිවේ නිර්මාංශ පුරුද්ද බුදු දහමින් ඔවුන්ට ලැබුනක් බව . ඉන්දියාවේ මෙහෙම බිලි පුජා වෙනවද ? අනික ආහාරයට ගන්න සතෙක් මැරීම පව් වුනත් එතන තියෙන්නේ පැවැත්ම පිලිබඳ අවශ්‍යතාව වෙන්න පුළුවන්. මේක තනිකර ආපහු ම්ලේච්ඡ යුගයට යාමක්. විරුද්ධයි ඔන්න මමත්

    ReplyDelete
  4. හින්දු ආගම නං අවිහිංසාවාදී අගමක්. නමුත් මේකට විරුද්ද මතයක් ගොඩ නැගුණාම ඒක 'සිංහල බෞද්ධ අන්තවාදීන්ට' ගැරහීමට නිමිත්තක් බවට පත් වුණා. ඒකාලෙ නං ලංකාවෙ හිටියාය කියනවා සත්ත්ව ඝාතනය තහනං කළ රජවරු. ඒ උදවිය නං ඉතිං අන්තවාදීංගෙ මීමුත්තල නොවැ. දැං කාලෙ ඔව්වා කරන්න බෑ. සිංහල බෞද්ධ අධිපතිවාදය අනික් ආගම් මත පැටවීමක් වෙන්නත් පුළුවං.මං දන්න තරමිං සතුන්ට හිංසා කිරීමට එරෙහිව නීතියක් තියනවා ඒක ක්‍රියා කොරනවාද නං දන්නෙ නෑ. ඔතන දේසපාලන හයිය එහෙමත් ඇති.

    කොහොම වුනත් ගොං පොර වගේ දේවල් ඒ ඒ සැබියාවන්හි මුල් බැහැගත්තුවා අපිට ගැලපීමක් නැති බව ඇත්ත උනාට. ඒවට ලොකූ විරෝධයක් නගන්න නං අමාරුයි. මට හිතෙන විදියට හේතුව බටහිර සැබියාවත් එක්ක ඒවයෙ ලොකු ගැටුමක් නැති නිසා. ගේම්කියන වචනෙ ඇතුලෙ ලොකු කතාවක් තියනවා කියල හිතෙනවා.

    කොයි හැටි වෙතත් බෞද්ධයො වසයෙං අපිත් කල්පනා කරල බලන්ට ඕන කන බොන වෙලාවට තමං රහ කරකර උගුරෙං පහලට දාගෙන පහුවදාට නැහැයත් වහගෙන බලන්නෙවත් නැතුව පිළිකුලෙං එලියට දාන දේ වෙනුවෙං සත්තුංගෙ ජීවිත නැති කරන එක බුද්ධ දේසනාවට කොච්චර එකඟද කියන කාරනෙත්. ඇස්කිමෝලට නං කන්න වෙන දෙයක් නැතැයි කියන්න පුළුවං ඒක සාදාරණයි. නමුත් අපි?

    ReplyDelete
  5. ආගමකට මුවාවී කරන මේ යාගය ( සත්ව ඝාතනය ) මමත් අනුමත කරන්නේ නැහැ. කෑමට ගන්න නම් සත්තු මරන්න පිලිගත් ක්‍රම හා තැන් තියෙනවා නෙ.

    ඒ උනාට තවත් ආගමකට මුවාවෙලා ඒ ආගමේ දර්ශනය පදනම් කරගෙන මෙයට විරුද්ධ වෙනවා කියන එකත් මම අනුමත කරන්නේ නැහැ. ඒක තවත් ආගමික අන්තවාදයක්!

    කොටින්ම කියනවා නම් ඕකට විරුද්ධ වෙන්න ඕනි සත්තු මරන එක පවු / අපායෙ යනවා / බුදුහාමුදුරුවො එපා කිව්වා ආදී කාරණා නිසා නොවේ, සතෙකුට ජීවත් වෙන්න තියෙන අයිතියත් සත්තු මරන්න මිනිසුන්ට තියෙන අයිතියත් කෙබඳු ද කියා අර්ථ දැක්වීමෙන්...

    ReplyDelete
  6. මම නම් ඔබේ අදහස ඉඳුරාම අනුමත කරනවා.. හැබැයි ගිය වතාවේ ඔයේ දේවාලේ කපු මහත්තය කියපු හැටියට වැඩියම මරන්න එළුවෝ ගෙනත් තිබුනේ සිංහල බවුද්දයෝ තමයි.. කන්න මරා ගත්තත දෙවියන් පුදන්න මරා ගත්තත් මැරිල්ල වැරදියි.. මනුස්සයට කවුද අයිතිය ලියල දුන්නේ අනිත් සත්තුන්ගේ මෙහෙම මරන් කන්න ? උපදින හැම සත්වයෙකුටම අයිතියක් තියෙනවා හිංසා නොවින්දින්න.. තමුන්ගේ ජීවිතේ අකාලේ බිලි නොදෙන්න. එක මනුස්සයට විතරක් තියෙන අයිතියක කියල හිඔතන එක වැරදියි.. මනුස්ස පරිනාමය සම්පුර්ණ වෙන්නේ කවද හරි මැරිල්ල නතර උන දාටයි.. නතර වීම් එසේ වෙතත් අඩුම ගන්නේ අඩු කිරීමට ක්‍රියා කිරීම මනුස්සයාගේ යුතුකම බුද්ධිමත්ම සතා හැටියට.. බුවා. මගේ මේ සටහන බැලුවද ?http://lankapriyagesithivili.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  7. මමත් බුවාගෙ අදහසට සම්පූර්ණ එකඟයි. ඊට අමතරව වෙන රටවල්වලට අපේ රට ගැන යන ඉමේජ් එක කොහොමද?

    මම අහලා තියෙන්නෙ ඔය පූජාවට සමහර බෞද්ධයො පවා යනවයි කියලා

    ReplyDelete
  8. @අසංක - ගිය වතාවේ නම් එහෙම කථිකාවක් ඇතිවුනු බව මතකයි

    @විසිතුරු - ආකල්පමය වෙනස්ක් අවශ්‍යයි , නමුත් ඒ දක්වා යන මාර්ගයේදී විරෝධය පැමත් අවශ්‍යයි , තව නොබෝ කාලෙකින් ඔය තල්මසුන් දඩයම අවස්න් වෙන්න ඉඩතියනව , ඒ කට මූලික හේතුවක් විදිහට විරෝධතාවයන් හඳුන්වාදෙන්න පුලුවන් වෙයි

    @බින්දි - ස්තුතියි , එකඟත්වයට

    @පොඩිගමයා - ස්තුතියි අදහසට, දේශපාන හය්ය , පොලිස් හය්ය දෙකම තියනවාය කියලයි කියවෙන්නෙ


    @රැඩිකල් - මගේ අදහසත් ඒකම තමයි

    ReplyDelete
  9. මේ මිලේච්ච ඝාතනයන්ට එරෙහිව මුලු සමාජයම නැගීසිටිය යුතුයි.

    ReplyDelete
  10. @සරත් - කියෙව්වා , ඔය නැගෙනහිර ආසියාවේ කට්ටියගෙ කැම නම් අහනින්නත් අප්පිරියයි , ඔය එලු කථාව වෙන්න පුලුවන් මොකද ඕක පිටිපස්සෙ ඉන්නේ වැඩිහරියක්ම සිංහල බෞද්ධ ලොකු ලොක්කො තමයි

    @blog gadol ස්තුතියි , වෙන්න පුලුවන් , කොහොමටත් මුන්නේෂ්වරම් හාස්කම් ගැන විස්වාස කරන තකතිරු බෞද්ධ යො සැහෙන ප්‍රමාණයක් ඉන්නවනේ

    @ජයශ්‍රි - ස්තුතියි

    ReplyDelete
  11. සම්පූර්ණ අැත්ත! ලිපියෙ කරුණු වලට එකඟයි!

    ReplyDelete
  12. මේ වගේ යල් පැන ගිය බිලි පූජා වලට අපි විරුධ්ද උනාට,,ඔතන මරන සත්තු වැඩි හරියක් පහු වෙනිදට පොලිසියේ කට්ටිය ගෙනියනවා,,අනික බිලි පූජාවට අපේ රටේ දේශපාලකයෝ කොච්චර එනවද ඔතෙන්ට,,මම අහලා තියන විදිහට අපේ රටේ ජනාධිපතිවරු පවා ඔතන බිලි පූජා කරලා තියනවා, හැබෑටම ඔතෙන්ට වැඩිපුර යන්නෙත් සිංහලයෝම තමා...

    ReplyDelete
  13. සිරාවටම කතාව ඇත්ත... මාත් මේ බිලි පූජා අනුමත කරන්නේ නෑ. දෙවි‍යෝ සත්තු විඳවනවා දැකලාහරි ලේ දැකලාහරි සතුටු වෙනවා කි‍යන එක හිතන්න අමාරු‍යි. ඒත් මේ මෝඩ මිනිස්සු දැන දැනත් ‍යනවා.good post.

    ReplyDelete
  14. මේවගේ බිලි පූජා මම දන්න තරමට (නොදන්නවා වන්නට පුළුවන - සමාවෙන්න ) ඉන්දියාවෙත් දැන් නෑ.

    ඒත් ඉතින් චිරාත්-කාලයක් පැවතගෙන එන දෙයක් එකවර නවත්තන්න පුලුවන් කමකුත් නෑ.

    වෙනත් සහෘදයෙකු කියලා තිබුණා වගේ ආකල්පමය වෙනසක් සිද්දවෙන්න ඕනෑ.

    සතුන් මැරීම බෞද්ධ ධර්මයට වගේම හින්දු ධර්මයටත් තදින් විරුද්ධයි.

    මම ජීවත්වන ඉන්දියාවේ නිර්මාංශ භක්ශකයින් විශාල ප්‍රමාණ්යක් ඉන්නවා. ඉන්දියාවේ කියන විදියට veg හා non-veg කට්ටිය සමාජය තුල වර්ග වෙනවා. මෙය ඉතා ප්‍රභල වර්ග කිරීමක්. මේ වෙනස මොනතරම් තදින් තියන්වාද කිව්වොත් සෑම ආහාර ද්‍රව්‍යයකම එය නිර්මාංශද (veg) නැතිනම් මාංශ සහත (non-veg) ආහාරයක්ද කියන එක පැහැදිලිව දක්වන්න ඕනෑ.

    නිර්මාංශ ආහාර හඳුනා ගැනීම සඳහා ලොකු කොලපැහැති තිතකින් සළකුණක් යෙදෙනවා. මාංශ ආහාර ලොකු රතු පාට තිතකින් සළකුණු වෙනවා. මේ සලකණු කිරීම නීතිගත කරලා තියෙන්නේ නිර්මාංශ භක්ශක හින්දු භක්තිකයින් හට වැරදිලා හෝ එවැනි මාංශ ආහාරයක් ගැනීමට සිදුවෙයි කියන එක මත.

    කොටින්ම මුම්බායි වල බොහෝ සුපිරිවෙළඳසැල්වල මස්, මාලු, බිත්තර විකිණීමට නෑ කිව්වොත් පුදුම වෙන්න එපා. ඒවා විකුණන්න තියෙන සුපිරි වෙළඳ සැල් අතලොස්සෙත් ඒවා වෙනම කොටසක තබලයි විකුණන්නේ. ඒ නිර්මාංශ හින්දුභක්තිකයින් හට අප්‍රසන්නතාවක් ඇති නොවන්නට, ඔවුන්ගේ ඇදහිලි ක්‍රමයන්හට ගරු කරන්නට.

    හින්දු ඉන්දියාවෙ හැටි ඔහොමයි.

    හැබැයි ඉතින් මස් මාලු කන බොන මිනිස්සුන්ට බැනීමේ සිරිතක් නම් එහෙ නෑ. Vegලා හා Non-Vegලා එකට ඉඳගෙන කෑම කනවා. කෑම බෙදනකොට වෙනම හැඳි පාවිච්චිකරනවා මාංශ හා මාංශ නොවන ආහාර බෙදා ගන්න. එච්චරයි.

    ReplyDelete
  15. ඔය බිලිපූජා වල අර්ථය පටන් අරන් තියෙන්නෙත් මාංශ භක්ෂණයේ යටි අදහසින් තමයි. මොකද බිලිපූජා වලදි මරණ සත්තු වලදාන්නෙ හෝ ආදාහනය කරන්නෙ නෑ කුට්ටි කරල කන්ඩ ගෙනියනව මිසක්. එතනදි ආගමික කටයුත්තක් ලෙස බිලිපූජා කිරීමක් ලෙස සිදු කරන්නෙ කෑදරකම, පෙරේතකම නිසා නොකෙරෙන්නක් විදියට ඒත්තු ගන්වන්න කපටි පූජකයොයි. ඒත් ආගම වෙනුවෙන් කරනවා යැයි කීමත්, ආහාර සැපයීම වෙනුවෙන් කරනවා යැයි කීමත් දෙකක් ලෙස පෙණුනට එකම තමයි වෙන්නෙ.

    ReplyDelete
  16. මෙය ආගමික නිදහස නෙවේ. ආගමික මිලේච්චත්වයයි. මෙය නැවැත්විය යුතුමයි...යුතුමයි...යුතුමයි.

    ReplyDelete
  17. @තනි අලියා- ස්තුතියි

    @ඇනෝ - ඒක තමයි ඕක ලස්සනට කෙරෙන්නෙ . ඔය කියන ජනාධිපති කව්ද කියල මට මැවිල පේනව . ඔය බුරු වැඩ වලට මිනිහ දක්ෂයා

    @යාපා - ස්තුතියි

    @කණ්ඩුල - ස්තුතියි , මම හිතන්නේ ඔය බිලි පූජ කරන්නෙ කාලි මැනියන් වෙනුවෙන් පුජා තියන ඇයින් වෙන්න ඕනි . ගොඩ දෙනෙක් නිර්මාංශික ඔහේ තත්වය ඔහොම උනාට . මෙහෙ නිර්මාංශික වෙන්න ට්‍රයි කරන ගොඩ දෙනෙක් ඒක ඇඩ් එකක් කරගෙන .

    @ Outsider - ඒකත් ඇත්ත තමයි . නමුත් මම කියන්නෙ සාමාන්‍ය පරි භෝජනයත් ඔතනත් අතර ලොකු සමාජීය වෙනස් කමක් තියනවා නේද ?

    @ඇනො - ස්තුතියි

    ReplyDelete
  18. ආගමේ නාමයෙන් සතුන් මැරීමට විරුද්ධ වෙමු යන්න කුනුහර්පයකි, යමෙකු සත්ව ගාතනයට විරුද්ධ වන්නේ නම් ආගමේ නාමයෙන් නොව කෑමේ නාමයෙන් මැරුවත් විරුද්ධ විය යුතුය, දෙකේම අන්තිම ප්‍රතිපලය සතෙකු මිය යාමය්. බහුතරයක් ඕකට එරෙහි වන්නේ අහවල් එකකට නෙව තමන්ගේ ආගමේ පවර් එක පෙන්වීමටය. ගිය අවුරුද්දේ ඔතනට කඩා ගෙන පැන විරෝධ තාවය පලකල පොරවල් මස් කඩ වලට පැන ඔය ටික නොකරන්නේ ඒ නිසාය. මම නිර් මාංශිකයකු වුවත් අන් අයට මස් කන්නට ඇති අයිතියට මම ගරු කලය්, මම නිර්මාංශ වූ පලියට කවදාවත් අන් අයත් එසේ විය යුතුයු යැය් මම සිතන්නේ නැත. මම සතුන් මරනවාට කැමති නැත, නමුත් සතුන් මරනවාට විරුද්ධ නැත. සතෙකු මරනවාද යන්න නැද්ද පිලිබඳ තීරනය ගත යුත්තේ එය කරන පුද්ගලයා මිස මම නොවේ. ඒ වගේම ඔය මුන්නේශ්වරම් එලුවන් ගැන හැලෙන කඳූලු ලංකාව වටේ පන්සවල් වල ඉන්න අලි වෙනුවෙන් නොහැලීම මාර ජෝක් එකකි.

    ReplyDelete
  19. @ano - සත්ව ඝාතනයට ආගමකින් කෙරෙනා අනුබලය සහ මාංශ අනුභවය යනු සහ මුලින්ම වෙනස් අවස්ථාවන් දෙකක් . ත්‍රස්තවාදී බෝම්බයත් , රියදුරෙකුගේ නොසලකිල්ලත් යන හේතුන් දෙකම නිසා එකම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අවස්ථාවන් 2 ක් සැලකූ වීට දෙකම මිනිස් වැරදි සහ නැතිවුනේ මිනිස් ජීවිත කියා සිදුවීම් 2ක සමාන වන්නේ නැත .එකම දේ සිදුකරනා අවස්ථාව හා අරමුණ මත එහි සමාජීය බලපැම අනිවාර්යයෙන්ම වෙනස් ය . ඔබ නිර්මාංශික වීම හා අනෙක් අයගේ මාංශ කැමට විරෝධය පල නොකිරීම පැසසිය යුතුය . නමුත් තොග පිටින් එක් වර කරනා සත්ව ඝාතනය අනුමත කල යුතුයැයි එයින් හැඟෙන්නේ නැත . එලුවන් සිය දෙනෙකු මස් කඩ වලදී මැරීම හා කෝවිලකදි මැරීම එලුවන් මියයාම අතින් එක සමාන වුවත් මිනිස් සමාජය වශයෙන් අතින් වෙනසක් ඇත . කිසිම සතෙකුගේ ජීවිතය මිනිස් ආහරය හෝ වෙනත් මිනිස් අවශ්‍යතාවයන් වෙනුවෙන් තොර නොවේනම් වඩාත් යහපත්ය . ප්‍රායෝගිකව ඒ තැනට මිනිසා පත්වීමට තවත් කලාන්තරයක් ගත වේ .බිලි පූජා , දඩයම් ක්‍රිඩා ඒ විපර්යාසයේ නූතන යුගයේ අවශ්‍යතාවයන්ය . විහාර වල අලි ඇතුන් ට සිදුවන හිංසාවන් මා කිසිසේත් අනුමත කරන්නේ නැත , නමුත් බිලි පූජාවක් හා එය අතරත් පැහැදිලි වෙනසක් ඇත .

    ReplyDelete
  20. ඔවුන්(හොර කපුවෝ) ගෙ දේවාල වලට යන්නේ මොකද. කොල්ලෝ ඔය පැත්තේ ට්‍රිප් යද්දී ඔය දේවාල වලට අනිවාර්යෙන් ම යනවා. ඔවුන් ගණන් ගන් නැතුව හිටිය නම් ඉවරනේ ඕන දෙයක් කරගන්ඩ කියල. ඇත්ත හින්දු ආගමේ ඕව නැත්තම් ඔවුන් ව ගණන් නොගෙන ඉන්ඩ තියෙන්නේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන...